කුරේටයි පෑනටයි ටෙස්ට් තරග 100යි

ගාල්ලේදී අද ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් තරගය අත්දැකීම් බහුල ජාත්‍යන්තර ලකුණු සටහන්කරු තුෂාර කුරේට ඓතිහාසික එකක් වනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ලකුණු සටහන්කරු ලෙස ඔහු රාජකාරි කටයුතුවල යෙදෙන 100 වැනි ටෙස්ට් තරගය මෙය වන බැවිනි. එලෙස ටෙස්ට් තරග 100කදී ලකුණු සටහන්කරුවකු ලෙස රාජකාරී කරන ශ්‍රී ලංකාවේ පළමුවැන්නා තුෂාර කු‍රේ වීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර ලකුණු සටහන්කරු ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1987 දී ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර සීසීසී පිටියේ පැවති ටෙස්ට් තරගයේදීය. ඔහු‍ගේ 25 වැනි ටෙස්ට් තරගය 1998දී පී. සාරා ඕවල් පිටියේදී, 50 වැනි ටෙස්ට් තරගය ගාල්ලේදී හා 75 වැනි ටෙස්ට් තරගය පල්ලෙකැලේ පිටියේදී ගෙවී ගියේය.

තුෂාර කුරේ එක්දින ජාත්‍යන්තර තරගවලට හා ටෙස්ට් තරගවලට උචිත ආකාරයෙන් ලකුණු සටහන් පොත් දෙකක් නිර්මාණය කොට ශ්‍රී ලංකා ආයතනයට නොමිලේ පිරිනමා ඇත. අදටත් එම ලකුණු සටහන් පොත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වශයෙන්ම භාවිතයට ගෙන තිබේ.

ලකුණු සටහන්කරුවන්ගේ සංගමයක් ඇති කොට එහි ප්‍රථම සභාපති ලෙස පත්වූ තුෂාර කුරේ එදා මෙදාතුර ලකුණු සටහන්කරුවන් 400කට වඩා වැඩි පිරිසක් බිහි කර තිබේ.

ලෝක කුසලාන තරගාවලි 2කට හා විස්සයි20 ජාත්‍යන්තර තරගාවලි 2කට ඔහු ලකුණු සටහන්කරු‍වකු ලෙස දායකත්වය ලබා දුන්නේය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ නිල ලකුණු සටහන්කරු හා දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කරන ඔහු සැරසන්ස් ක්‍රීඩා සාමාජයේ ක්‍රිකට් ලේකම් ලෙස ද කටයුතු කළේය.