ගායන ශිල්පී නදීමාල් පෙරේරාට පහරදුන් අයකු දැලේ

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගේ පුතා වන නදීමාල් පෙරේරාට පානදුර හෝටලයක දී පහරදුන් පුද්ගලයෙකු සහ ගැටුම මැඬපැවැත්වීමට ගිය පොලිස් නිලධාරින්ට බාධාකළ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව පානදුර උතුර පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව පොලීසිය පවසයි.

පානදුර, ගොරකාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක දී මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් පවත්වනු ලැබූ උත්සවයක සංගීත වැඩසටහනකට සහභාගි වූ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුතා වන නදීමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු පහරදී නදීමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බව පානදුර උතුර පොලීසිය ප්‍රකාශ කරයි.

සිද්ධිය සැලවීමෙන් අනතුරුව පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති සංජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් එම හෝටලයට ගොස් මෙම ගැටුම මැඬපවත්වා තිබේ. මෙම පහරදීමෙන් සුළු තුවාල ලැබූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් වූ බව රෝහලේ ප්‍රකාශකයකු පැවැසීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත්

අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.