අලි ඇතුන් ගැන ජනපතිට ලිපියක්

අදාළ බලධාරීන් සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම නිසා වීථි සුනඛයන් ගහනය බහුල වී සතුන් පීඩාවට පත්වීම සහ ඒ තුළින් සිදුවන සමාජ ව්‍යසනය වැළැක්වීම සඳහා සහ අලි ඇතුනට සිදුවන හිංසා වැළැක්වීමට අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන් ක්‍රියාත්මක නොවන නිසා ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියකු එම කටයුත්ත අධීක්ෂණයට පත්කර එම අහිංසක සතුනට සහනයක් ලබාදෙන ලෙස කෙරෙන කාරුණික ඉල්ලීමයි.

ඉහත සඳහන් කළ පරිදි දඩාවතේ යන බල්ලන් සමාජයේ මඟ දෙපස සහ නොයෙකුත් තැන්වල ඉතා බහුලව ගැවසෙන අතර එය නොසිදුවිය යුතු තත්ත්වයකි. කනගාටුදායක කරුණ නම් අදාළ පළාත් පාලන අමාත්‍යාංශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති නිසාය.

මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර එම අහිංසක සතුන් හරියටම “අනුන්ගේ පව්වලට ගෙවන වන්දිය” අවම කිරීමට මා වසර 10ක් ලිඛිතව, යෝජනා ද සහිතව කළ ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන නිසා මා පසුගිය රජයේ අවසාන කාලයේ එවකට ජනාධිපති කාර්යාලයේ බලධාරීන් හරහා එම ලිපි ඉදිරිපත් කළත් අඩුම ගණනේ ජනාධිපති කාර්යාලයේ බලධාරීන් හරහාවත් මා හට පිළිතුරක් සැපයීමට පළාත් පාලන අමාත්‍යාංශ බලධාරීන් අපොහොසත්වී ඇත.

එසේම පවතින ගහනයේ වර්ධනය වැළැක්වීම සඳහා වඳ සැත්කම් ආදියට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පශු සම්පත් අමාත්‍යාංශය ද ක්‍රියා කළ යුතුය. ඒ සියල්ලන්ටම මා මේ බව වසර 10 පමණ කාලයක සිට දැනුම් දී ඇති අතර කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එම නිලධාරීන් අවංක නම් මිනිසුන්ගේ ඉල්ලීම්වලට පමණක් නොව අහිංසක කතා කළ නොහැකි සතුනට සිදුවන අසාධාරණකම්වලින් ද එම කතා කළ නොහැකි සතුන් මුදා ගැනීමට ක්‍රියාත්මක විය යුතුය. අලි පැටියා අතහැර දැමූ වගා ළිඳකට වැටුණු අවස්ථාවේ එම පැටියා, ගොඩගන්නා උත්සහයේදී මවු ඇතින්න ද එම ළිඳටම වැටී මිය යාමේ සිද්ධි බහුලය. අදාළ බලධාරීන් සිටියදී මෙවැනි දේ අසන්නට ලැබීම අභාග්‍යයක්. මා වසර ගණනාවකට පෙර අලි ඇතුන් රැකගැනීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂට ද කතා කළ අතර එම අනාරක්ෂිත ළිං සඳහා අඩුම ගණනේ ආරක්ෂිත වැටක් හෝ යොදන බවට ඉල්ලීම් කළ අතර එවැනි පිළියම් සුදුසු බව එම බලධාරීන් විසින්ම පිළිගනු ලැබුව ද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැත. මහාචාර්ය සරත් කොටගම ද වනජීවී ඇමැතිවරු තුන් දෙනකුට උපදේශකව සිටියත් ඵලක් නම් නැත. ඔහුට ද මා කිහිපවිටක් කතා කර ඇත.

මෙම අහිංසක සතුන් දෙකොටසට මිනිසුන්ගේම අක්‍රමවත් ක්‍රියා නිසා සිදුවන පීඩාවන් වැළැක්වීමට ගත් පියවර අසාර්ථක වූ නිසා මා කලකිරීමට ද පත්ව නිහඬව සිටියේය.

එහෙත් අවසාන ජනාධිපතිවරණයට ආසන්නව එම රැස්වීම්වල වර්තමාන ජනාධිපතිතුමාගේ කතා අතරතුර ඔහුගේම මුවින් අප මිනිසුන්ගේ ප්‍රශ්න නිරාකරණයට පමණක් නොව අවධානය යොමු කළ යුතු සතුන්ගේ ප්‍රශ්නවලට ද මැදිහත් වන බවට සහ තවත් අවස්ථාවක එතුමාගේ කතාවක් අතරතුර “දිවයින තුළ පසුගිය වර්ෂයේ අලි ඇතුන් 400ක් පමණ නිරපරාදේ මරා දමා ඇත. ඉතිං එය කම්පනයක් නොවේද?” යනුවෙන් පවසා ඇත. කෙසේ හෝ ඒවා ක්‍රියාවට නැංවීම කෙසේ වෙතත් අඩුම ගණ‍නේ මුවින් පිටවීම හෝ අසන්නට ලැබීම සතුටක්. මින්පෙර කිසිදු රාජ්‍ය නායකයකුගේ මුවින් සතුන් සම්බන්ධව වචනයක් හෝ පිටවී නැත.

අවසන් වශයෙන් මා කියා සිටින්නේ ඍජුවම අදාළ බලධාරීන්ට ඉල්ලීම් කළත් පලක් නොවන බවය. මොකද රජය වෙනස් වුවද, එම නිලධාරීන්මයි එම වගකීම් ඉටු කිරීමට ඉන්නේ.

විශේෂයෙන් නිලධාරීන් මිනිසුන්ගේ ප්‍රශ්නවලට යම් පිළියමක් ලබා දුන්නත් සතුනට සහනයක් ලබාදීමේ කටයුත්තේදී අලස වී ඇත්තේ එම සතුනට හඬක් නැඟිය නොහැකි බව නිසා.

අවසන් වශයෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ දැනට මිනිසුන්ගේ අක්‍රමවත් ක්‍රියා සහ බලධාරීන්ගේ නිද්‍රාශීලි බව හේතුකොටගෙන අනේක වධ හිංසාවට ලක් වූ අසරණ සතුන් දෙකොට්ඨාසය එම පීඩාවෙන් මෙන්ම, “අනුන්ගේ පව්වලට ගෙවීම වළක්වාලීමට පියවර ගැනීමකට කටයුතු ආරම්භ කිරීමට ජනාධිපති කාර්යාලයේ ඉහළ බලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට කටයුතු යොදන ලෙසය. සතුන් දෙකොට්ඨාසයටම අදාළව ගතයුතු ක්‍රියාමාර්ග ක්‍රමවත්ව සැකසූ ලිඛිත යෝජනා, මාගේ පරිගණකයේ ඇති අතර ඒවා එම නිලධාරියාට භාරදිය හැකිය.