රු. 1,700ක ඉහළ දැමුණු වතු කම්කරු වැටුප ලබාදෙයි.

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම ඊයේ (10) සිදු කෙරුණි.

ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය අපේල් 30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් රුපියල් 1,000ක්ව පැවති වතු කම්කරු දෛනික සම්පූර්ණ වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබුණි.

කෙසේවෙතත්, ලංකා වැවිලි සමාගම සහ වතු හාම්පුතුන්ගේ සංගමය දිගින් දිගටම පැවසුවේ එවැනි වැටුප් වැඩි කිරීමකට එකඟනොවන බවය. 

මෙවන් පසුබිමක මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම රජයේ තීරණය ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා වැඩිකළ වැටුප් ලබාදීමට ඊයේ පියවර ගත්තේය.

ඒ අනුව ඊයේ පස්වරුවේ මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම් ප්‍රධාන කාර්යාලයේදී වතු කම්කරු ජනතාව වෙත වැඩි කළ දෛනික වැටුප් ප්‍රදානය කෙරුණි.

මේ අතර, වැඩිකළ රුපියල් 1,700ක දෛනික වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් පහතරට වතු කම්කරුවන්ගේ සංගමය ඇල්පිටිය නගරයේදී ඊයේ උද්ඝෝෂණයක නිරත විය.