ජනපති රනිල් මෝදිගේ දිවුරුම්දීමට ඉන්දියාවට යයි

නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින (09) ඉන්දියාව බලා යාමට නියමිතය.

නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම දෙදින නිල සංචාරයේ නිරතවේ.

පසුගියදා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළේය.

එම ජයග්‍රහණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් මෝදි මහතාට සුබපැතුම් එක්කරන ලදි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුදීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති අතර ඔහු එම ආරාධනය පිළිගෙන තිබුණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය සඳහා නැවතත් තේරී පත් ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය අද දින (09) රාශ්ට්‍රපති භවන්හිදී පැවැත්වේ.

73 හැවිරිදි නරේන්ද්‍ර මෝදී හෙට දිනයේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලබන්නේ තුන්වැනි වරටය.

මෙම උත්සවය වෙනුවෙන් මේ වනවිට අගනුවර ආරක්ෂාව තර කර ඇති ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, සීෂෙල්ස් උප ජනාධිපති අහමඩ් අෆීෆ්, බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා, මොරිෂස් අගමැති ප්‍රවින්ද් කුමාර් ජුග්නවුත්, නේපාල අගමැති පුෂ්ප කමල් දහල් සහ භූතාන අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නායකයින් ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට ආරාධිතයින් ලෙස එක්වීමට නියමිතය.