හත් දෙනකුට මරු කැඳ වූ නරියා කන්ද මෝටර් රථ ධාවන තරගය

කාර් රේස්වලට තාත්තලා හරි උනන්දුයි

අපේ අනාගතය හදලා දුන්නු තාත්තලාගේ වෙන්වී යෑම ඉවසන්න අමාරුයි

මාතර ගනේෂ් සහ අරුණ ශාන්තගේ දියණියෝ හඬා වැලපෙති

“මෝටර් රථ තරග සඳහා තාත්තලාගේ තිබුණේ පුදුම උනන්දුවක්. අපේ අනාගතේ හදලා දුන්නු තාත්තලා අපිව දාලා යෑම කොහොම ඉවසන්නද දෙවියනේ” දියතලාවේදී පෙරේදා සවස පැවැති‍ මෝටර් රථ තරගාවලිය අතරතුර රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් මාතර ගනේෂ් කමලනාත් ජයවර්ධන සහ අරුණ ශාන්ත උපාලි ගමගේ මහත්වරුන්ගේ දියණියෝ හැඬූ කඳුළින් පැවසුහ.

මෝටර් රථ ධාවන තරගය අතරතුර වූ අනතුරින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් තිදෙනකුම මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඒ අතරින් ගනේෂ් හා උපාලි කුඩා කාලයේ එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ අඹයහළුවන් වීම විශේෂත්වයකි. මේ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ විසි හැවිරිදි හෂේන් හීනැටිගල ද ගණිත අංශයෙන් උසස් පෙළට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි මාතර රාහුල විද්‍යාලයේ සිසුවෙකි.

මේ තිදෙනාම මෝටර් රථ සහ යතුරුපැදි තරග සඳහා දැඩි ආසාවකින් පෙළෙන්නන් වූ අතර ඔවුන් මාතර සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් ලෙස ද කටයුතු කරති. ඒ අතර හෂේන් හීනටිගල (20) මාතර එළියකන්දේදී වාර්ෂිකව පවත්වනු ලබන එළියකන්ද කඳු තරණය මෝටර් රථ තරගාවලියේ ක්‍රීඩකයකු ලෙස ද කටයුතු කර ඇති අයෙකි.

ගනේෂ්, උපාලි මෙන්ම හෂේන් ද මෝටර් රථ තරග සඳහා තිබෙන ආසාව නිසාම තරග සඳහා ස්වේච්ඡාවෙන්ම තම සහාය දෙන පුද්ගලයන් වීම විශේෂ අවස්ථාවකි. ඔවුන් තිදෙනා මෙලෙස හදිසි අනතුරින් මිය යන විටත් fox hill මෝටර් රථ තරගයේ ධාවන පථ පරීක්ෂකවරුන් ලෙස කටයුතු කරමින් සිට ඇත.

අපේ තාත්තාත් සමඟ මමයි නංගිලා දෙන්නම මෝටර් රථ තරග සඳහා සහායට යනවා. පසුගිය විසිවෙනිදා තාත්තා මේ තරගයට යන විට මම යන්න එපා කීවා. ඒත් තාත්තට යන්නම ඕනෑ වුණා. ඒ නිසා මමමයි තාත්තා මාතර බස් නැවතුමට එදා රෑ ගිහින් බැස්සුවේ. අනේ හරි ආසාවෙන් මාත් සමඟ ගිය තාත්තා මමයි, අක්කයි, නංගියි, අම්මයි තනිකර මේ විදිහට යාවි කියා හීනෙකින්වත් හිතුවේ නෑ. අපේ තාත්තා අපි වෙනුවෙන් කොච්චර වැඩ කළා ද?Ó – වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක වන ගනේෂ්ගේ දෙවැනි දියණිය වූ මල්මි ජයවර්ධන එලෙස පවසමින් සිටියදී දෑස් අගින් කඩා හැළුණු කඳුළු ධාරා රූරා වැටෙද්දී මඳක් නිහඬව සිටි මල්මි නැවත අප හා කතා කළේ දිගු සුසුමක් වාතලයට මුසු කිරීමෙනි.

Òඅපේ තාත්තා අපට වගේම රාහුලයටත් තිබුණේ පුදුම ආදරයක්. ඒ නිසාම තමයි රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් විදියට අපව දාලා යනතෙක්ම වැඩ කළේ. රාහුලේ කියන්නේ තාත්තගේ ඇඟේම කොටසක් වගේ හිතලා තමයි වැඩ කළේÓ – මල්මි නැවත නිහඬ වී නෙතු අගින් කඩා හැළෙන කඳුළු පිසදැමුවාය.

අංක 166/2, අකුරැස්ස පාර, ගොඩගම, මාතර ලිපිනයේ පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන (63) මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක වූ නිල්මිණි දීපිකාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ අතර දයාබර දියණියන් තිදෙනෙකුගේ පියෙකි.

අනතුරින් මියගිය ගනේෂ් ජයවර්ධනගේ අඹයාළුවා වූ මාතර කාලිදාස පාරේ අංක 41/8, නිවසේ පදිංචිව සිටි වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වූ අරුණ ශාන්ත උපාලි ගමගේ (62) විශ්‍රාමික ගුරුවරියකගේ ආදරණීය සැමියා සේම තවමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පසුවන දියණියන් දෙදෙනෙකුගේ දයාබර පියාණන්ය.

මල්ෂා ගමගේ (24) සහ මනීෂා ගමගේ (21) දියණියන් හැඬූ කඳුළින් පැවසුවේ තම පියා සමඟ තමන්ද මාතර එළියකන්දේ පැවැත්වෙන මෝටර් රථ තරග සඳහා සහායට යන බවත් මෙවන් අනතුරක් තම පියාට කිසිඳු දිනක සිදුවේ යැයි හීනෙකින්වත් නොසිතූ බවත්ය.

හෂේන් හීනටිගල කියන්නේ මගේ පන්තියේ හිටපු දක්ෂ ළමයෙක්. මෝටර් රථ සහ යතුරුපැදි තරගවලට තිබුණු පුදුමාකාර කැමැත්ත නිසා මුල් අවස්ථාවලදී ඔහු ඉගෙනුම් කටයුතුවලට උනන්දුව අඩු බව දැනුණත් පහුවෙනකොට ඒ අඩුපාඩු හදාගෙන ඒ දරුවා හරියට මහන්සි වෙලා වැඩ කළා. එයා මෝටර් රථ තරගවලට පමණක් නොවෙයි අපේ රාහුල විද්‍යාලයේ කැඩෙට් තූර්යවාදක කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් විදිහට තම පාසල වෙනුවෙන් කැපවීමෙන් සේවය කළා. පසුගිය උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න අතරතුර තමයි මේ හදිසි ඛේදනීය තත්ත්වයට හෂේන් පුතා පත්වුණේ. ඒක මතක් වෙනකොටත් ඇති වෙන්නේ පුදුම දුකක් – මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් මෙන්ම ප්‍රවීණ ව්‍යවහාරික ගණිත දේශකයකු වූ නිර්මාල් ඉලංගම්ගේ මහතා එසේ පැවසීය.

අකුරැස්ස අමලගොඩ, වලව්වත්ත, තරංගා නිවසේ විසූ හෂේන් හීනැටිගල දරුවන් තිදෙනෙකුන් යුත් පවුලේ එකම පිරිමි දරුවා විය. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සිටින අතර හෂේන්ගේ හදිසි අභාවය නිසා මුළු අමලගොඩ ප්‍රදේශයම ශෝකී බවින් පිරීගොස් ඇත.