දමිළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් දිය හැක්කේ සංහිඳියාව මුල් කරගෙන බිහිවන ආණ්ඩුවකින් – ඇමැති ඩග්ලස් දේවානන්දා

උතුරු නැඟෙනහිර දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් දිය හැක්කේ සංහිඳියාව මුල් කරගෙන බිහිවන රජයකින් පමණක් බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා (16) යාපනයේදී පැවැසීය. ඇමැතිවරයා එසේ පැවසුවේ යාපනය විශ්වවිද්‍යාලයේ ජාතික සේවක සංගම් රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

තවදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය. ‘බොහෝ දෙමළ දේශපාලන පක්ෂ රජයට විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් උතුරු නැඟෙනහිර අර්බුදයට හා දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට උත්සාහ කළත් ඒ කිසිඳු නිගමනයක් ප්‍රායෝගික නෑ.’

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ දේශපාලන පක්ෂ ඉතාම බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බව කී ඇමැතිවරයා දෙමළ ජනතාව අතර සංහිඳියාව ගොඩනැංවෙන ආකාරයෙන් කටයුතු කරන පිරිස හඳුනාගෙන ඔවුන්ට සහාය දී දෙමළ ජනතාවගේ අවශ්‍යතාවන් ජයග්‍රහණය කර ගැනීමට උත්සාහ කළ යුතු බව ද කියා සිටියේය.