බටහිර ඔස්ට්‍රේලියාවෙන් මාරාන්තික මදුරු විශේෂයක් හමුවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයෙන් මාරාන්තික එන්සෙෆලයිටිස් මදුරු විශේෂය හමුවී තිබේ.

මේ හේතුවෙන් මදුරුවන්ගෙන් බෝ විය හැකි වෛරසයක් පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියාවේ බියක් මතුවී ඇති බව වාර්තාවේ.

ප්‍රථම වරට පිල්බරා ප්‍රදේශයෙන් මරේ වැලි එන්සෙෆලයිටිස් වෛරසය සොයා ගැනීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ මදුරු දෂ්ට කිරීම්වලින් ආරක්ෂා වන ලෙසටයි.

පිල්බරා ප්‍රජාවට සහ ප්‍රදේශයට යන සංචාරකයින්ට මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමෙන් වෛරසයේ අවදානම අඩු කර ගත හැකි බව ඔවුන් දැනුම් දෙයි.

තවමත් කිසිදු රෝගියෙකු හමුවී නොමැති වුව ද අවධානයෙන් සිටීම වැදගත් බව ප්‍රකාශ කර ඇත.

මරේ වැලි එන්සෙෆලයිටිස් හි ආරම්භක රෝග ලක්ෂණ අතර උණ, නිදිබර ගතිය, හිසරදය, ඔක්කාරය සහ කරකැවිල්ල ඇතුළත් වේ.

මෙම රෝග ලක්ෂණ ඇති ඕනෑම කෙනෙකුට විශේෂයෙන් මදුරු දෂ්ට කිරීමෙන් පසුව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසට දැනුම් දෙයි.

ආසාදනය වීමේ හා අසනීප වීමේ අවදානම අඩු වුවද මෙම වෛරසයෙන් ඇති වන රෝගය දරුණු විය හැකි අතර මාරාන්තික විය හැකි බව සඳහන්වේ.

මදුරුවන් වඩාත් සක්‍රීය වන අලුයම සහ සවස් වරුවේ එළිමහනේ සිටීමෙන් වළකින ලෙසට මෙන්ම දිගු ලා පැහැති ඇඳුම් අඳින ලෙසට උපදෙස් දී තිබේ.

මදුරු විකර්ෂක භාවිත කරන ලෙසට සහ නිවාස මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත.

එළිමහනේ නිදාගන්නේ නම් මදුරු දැල් සහ මදුරුවන්ගෙන් ආරක්ෂා වන කූඩාරම් භාවිතා කරන ලෙසට ද දැනුම් දෙයි.