ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් විශේෂ සැමරුම් වැඩසටහනක්

08 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් යුද් හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ විශේෂ සැමරුම් වැඩසටහනක් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය කරන ලද විශේෂ වාර්තාමය වීඩියෝවක් මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.

එමෙන්ම, මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබලියන්ගේ රසාස්වාදය වැඩිදියුණු කිරීමේ අරමුණින් ආචාර්ය භාග්‍යා අබේසිංහගේ ප්‍රධානත්වයෙන් ගීත විචාරාත්මක වැඩසටහහනක් පැවැත්විණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් මෙම වැඩසටහනේදී යුද්ධ හමුදා සෙබළියන් 100 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙන ලදී. තවද, ඊට සමගාමීව යුද්ධ හමුදා සේවයේ නියුතු ගැබිණි මවුවරුන් 10 දෙනෙකු වෙනුවෙන් වටිනා වවුචර්පත් 10 ක් ද ප්‍රදානය කරනු ලැබීය.

කාන්තා සෙබලියන් රාජකාරියෙන් ඔබ්බට මුහුණදෙන අභියෝග හමුවේ නිවාස හා වෛද්‍ය අවශ්‍යතාවයන් සඳහා මුල්‍ය ආධාර ලබාදීමක් ද මෙහිදී සිදුකෙරිණි. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අනුයුක්තව සේවයේ නියුතු සෙබලියකට නව නිවසක් ඉඳිකරගැනීම වෙනුවෙන් රුපියල් 600,000/- ක මුල්‍ය පරිත්‍යාගයක් සහ තවත් සෙබලියකගේ අඩක් වැඩ නිමවා ඇති නිවසෙහි ඉදිරි වැඩකටයුතු නිමකරවා ගැනීම සඳහා රුපියල් 450,000/- ක මූල්‍ය පරිත්‍යාගයක් ද මෙම අවස්ථාවේදී සිදුකරනු ලැබීය. මීට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවකගේ තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවෙකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් රුපියල් 100,000/- ක මූල්‍ය පරිත්‍යාගයක් ද මෙහිදී සිදුවිය.