රට විරුවන්ට කෝටියක් දක්වා නිවාස ණය

කැබිනට් අනුමැතියත් හිමි වෙයි විගමනික ශ්‍රමිකයන්ට නිවාස තනා ගැනීම සඳහා රුපියල් මිලියන 10ක ණය පහසුකමක් සැලසීමට කැබිනට් මණ්ඩලයේ

අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බලපත්‍රලාභී බැංකු සමඟ සහයෝගයෙන් විගමනික ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එම වැඩසටහන යටතේ උපරිම වශයෙන් රුපියල් මිලියන 10ක ණය පහසුකමක් ලබා දීමටත් ඒ සඳහා වන පොලී පිරිවැයෙන් කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැරීමටත් අපේක්ෂා කෙරේ.

යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගනු ලබන ණය මුදල, ණයලාභියා විසින් විදේශ රැකියාවක නිරත වී සිටින කාලය තුළ නීත්‍යනුකූල මාර්ගවලින් ප්‍රේෂණය කරනු ලබන විදේශ මුදලින් ගෙවිය යුතු අතර විදේශ රැකියාව නිම කර මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට හැකියාව ලැබෙනු ඇත.

ඒ අනුව, යෝජිත නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.