වයිට් රෝස් පාර්ක් නිවසක් ගිනි ගෙන විනාශයි

කහතුඩුව සරණතිස්ස මාවතේ වයිට් රෝස් පාර්ක් හි නිවසක (12) දා දහවල් සිදුවූ ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. කහතුඩුව සරණ තිස්ස මාවතේ නිවසක් ගිනිගන්නා බවට 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී වසා දමා තිබූ නිවසක් තුළ ගින්නක් හටගෙන තිබෙනු දැක තිබේ.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වී හොරණ නගර සභාව දැනුවත් කොට ගිනි නිවන රථ දෙකක් නිලධාරී අට දෙනකු සමඟ ගෙන්වාගෙන ප්‍රදේශවාසීන් හා එක්ව විනාඩි 45 ක් වැනි කෙටි කාලයක් තුළදී ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව පොලිසිය කියයි.

නිවස හිමිකරු මේ වන විට විදේශගතව ඇති අතර කුලී පදනම මත ලබාදී ඇති බවත් ඔවුන් ද ගින්න සිදුවන අවස්ථාවේදී නිවසේ නොසිටි බවත් ගින්නෙන් දේපළ හානි රැසක් සිදුව ඇති බවත් පොලීසිය කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පැවැත්වේ.