අධ්‍යාපන ධවල පත්‍රිකාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වූවා නම් විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වෙනවා – ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති ‍තෙන්නකෝන්.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අධ්‍යාපනය තුළ සිදු කිරීමට ගිය වෙනස සම්පූර්ණ කළ හැකි වූවා නම් මේ වන විට විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති ‍තෙන්නකෝන් පැවසීය.

රජිත් කීර්ති ‍තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාල‍යට සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට පසුගිය (09) දා සහභාගි වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් ඔවුන් ඉල්ලා සිටි  සංගීත භාණ්ඩ එම පාසල වෙත  ප්‍රදානය කිරීම  එම විදුහලේදී සිදු කෙරිණි.

සිසුන් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් 03 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොනරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගණයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදීය.

එහිදී  පාසලේ පවතින  සංගීත භාණ්ඩවල හිඟය පිළිබඳ සිසුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදී එම සිසුන් ඉල්ලා සිටි සියලුම සංගීත භාණ්ඩ මෙදින ප්‍රදානය කෙරිණි.

සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රජිත් කීර්ති ‍තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය.

මෙරට අධ්‍යාපනය වෙනස් මාර්ගයකට යොමු කළ අධ්‍යාපන ධවල පත්‍රිකාව කියන ප්‍රතිපත්තිය ගෙන එනු ලැබුවේ අප පාසල් යන කාලයේ දීයි. මේ කාලයේදී වගේම ඒ අවස්ථාවේදීත් ඊට ‍විශාල විරෝධයක් රට තුළින් පැන නැඟුණා. අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සඳහන් වූ දේ සිදු කළ නොහැකි වුණා. එසේත් නොමැති නම් එහි තිබූ දේ අඩක් පමණයි කළ හැකි වුණේ. එදා අධ්‍යාපන අමාත්‍යවරයා වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනය තුළ සිදු කිරීමට ගිය වෙනස සම්පූර්ණ කළ හැකි වූවා නම් මේ වන විට මීට වඩා විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වන බව එදා  අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව ගිය පෙළපාළිවලට නායකත්වය දීමට සිදු වූ මට අද අවබෝධ වෙනවා.

කෙසේ වුවත් අහම්බෙන් මෙම පාසලට පැමිණි ගරු ජනාධිපතිතුමා එදා කොළඹ සිට ගමන් කිරීමට නියමිතව තිබුණේ මගේ ගම වැලිමඩටයි. කාලගුණයෙන් බාධාවක් නොවී එතුමා එදා වැලිමඩට ගියා නම් අද මේ සංගීත භාණ්ඩ මේ ආකාරයට හිමි වන්නේ නැහැ. ජනාධිපතිතුමා අහම්බෙන් පැමිණි මේ පාසල ඒ වන විටත් නාට්‍ය හා සංගීත අංශයෙන් විශිෂ්ටතා පෙන්වා තිබුණා. දක්ෂතාව, කැපවීම හා හැකියාව තිබෙන සිසුන් වගේම විදුහල්පතිවරයක් හා ගුරු මණ්ඩලයක් මෙහි සිටිනවා. මේ පරිසරය සැකසී නොතිබෙන්න මේ සංගීත භාණ්ඩ හිමි වන්නේ නැති බව කිව යුතුයි.

මෙයින් අප උගත යුතු පාඩම වන්නේ ජීවිතේ සිදු වන අහම්බයන් යථාර්ථයක් බවට පත්වන්නේත්, ඉන් යහපතක් සිදු වන්නේත් ඔබ සූදානම්ව සිටියහොත් පමණක් බව යි. යම් අහම්බයකට ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකියි. බොහෝ සුවිශේෂ පුද්ගලයන්ගේ ජීවිත මෙවන් අහම්බයන්ගෙන් පිරී තිබෙනවා. එම සුවිශේෂත්වය හා අවස්ථාව ලබා ගැනීමට නම්, ඔබ දැනුමින්, අධ්‍යාපනයෙන්, අත්දැකීම්වලින් වගේම විනය වැනි කරුණුවලින් සන්නද්ධ වී සිටිය යුතුයි.

ඔබේ  ජීවිතය ගොඩනඟා ගැනීමට හැකි වන්නේ ඔබටමයි. රටේ ජනාධිපතිවරයාට, ආණ්ඩුකාරවරයාට, විදුහල්පතිවරයාට හෝ වෙන අයකුට ඔබව ගොඩනැඟිය නොහැකියි. තමන් කරන්න කැමති දේ වෙනුවෙන් අධ්‍යාපනය, දැනුම ලබා ගැනීම, අදාළ විභාග සමත් කර ගැනීම ඒ සඳහා අත්‍යවශ්‍යයි. එසේ නොවන්නට ඔබට ඉදිරි ජීවිතය දුෂ්කර විය හැකියි.

ඒ වගේම බිංදුවෙන් ආරම්භ කරන්න බිය වෙන්න එපා. ඔබට මතක ඇති මීට වසර එකහමාරකට පෙර මේ රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය රටක් වී තිබුණා.  ඒ රට නැවත සක්‍රිය කළේ තණමල්විල හාදයෙක්. ඒ තමයි නන්දලාල් වීරසිංහ. ගරු ජනාධිපතිතුමාගේ දේශපාලන දැක්ම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලිය ගෙන ආවේ ඔහුයි. බිංදුවෙන් පටන් ගන්න බය වෙන්න එපා කියන්න මේ උදාහරණය හොඳටම ප්‍රමාණවත්. වාසනාව හිමි වන්නේ බය නැති පුද්ගලයන්ටයි. ඔවුන්ට අවස්ථාවන් හිමි වෙනවා  වගේම ඔවුන් ජයග්‍රාහකයන්ද වනවා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිදු වුණේත් එයයි. මැතිවරණ‍යෙන් පරාජය වී, පාර්ලිමේන්තුවේ තනි ආසනයක් හිමි කර ගෙන සිටින අවස්ථාවක , එතුමා ළඟට ඇවිල්ලා මේ රට බාර ගෙන ගොඩ ගන්න කියා ඉල්ලන්න මිනිස්සුන්ට සිදු වුණා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශික්ෂණයක්, දැනුමක්, හැකියාවක්, මාවතක් නොතිබුණා නම් අද අපට මෙහෙම කතා කරන්න ලැබෙන්නේ නැහැ. එය කළ හැකි එකම පුද්ගලයා ඔහු පමණක් නොවිය හැකි වුවත් කළ හැකියි කිවූ එකම පුද්ගලයා ඔහු පමණයි. ඒ නිසයි අද ඔබට සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමට මේ අවස්ථාව හිමි වුණේ.

වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. ජේ. සුසිල් විජේතිලක, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්  කේ. කේ රවින්ද්‍රා මාලනී, වැල්ලවාය කලාප  අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්යය විෂය සම්බන්ධීකරණ නිලධාරි වසන්තා රෝහිණි දිසානායක, මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. යූ. බී හේරත් යන මහත්ම මහත්මීන් , ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.