‘Cat Walk 2024’ පා ගමන ගාලුමුවදොරදී

ජාත්‍යන්තර අරාබි දිවියන්ගේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ ‘Cat Walk 2024’ පා ගමන ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාලිඩ් බින් හමාඩ් අල්කටානි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලුමුවදොරදී පැවැත්විණි.

පෙරේදා (10) පෙරවරුවේ මෙම පා ගමන පැවැති අතර කොළඹ ගාලුමුවදොර පරිශ්‍රයේදී පැවැති මේ සඳහා ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විවිධ ආයතනවල නිලධාරීන් මෙන්ම මාධ්‍යවේදීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

පසුගිය 2023 වසරේ ජූනි 12 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මඟින් ඒකමතිකව සම්මත කරන ලද “ජාත්‍යන්තර අරාබි දිවියන්ගේ දිනය” යෝජනාව සවුදි අරාබි රාජධානිය මඟින් ඉදිරිපත් කර තිබෙන අතර රටවල් 30කට වැඩි ගණනක් මේ සඳහා සම අනුග්‍රහය දක්වා තිබෙන බව ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාර්යාලය පවසයි.

අරාබි දිවියා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශාල බළලුන්ගෙන් එක් විශේෂයක් ලෙස සැලකෙන අතර සිංහයා, කොටියා, කඳුකර සිංහයා, දිවියා, චීටා, කොටියා, හිම දිවියා වැනි සතුන් ද වඳ වීමේ තර්ජනයට ලක්ව තිබෙන බව පෙන්වා දෙන එම තානාපති කාර්යාලය මෙය පෙන්වීමේ අරමුණින් වනජීවී හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වීම සඳහා මෙවැනි වැඩසටහනක් සංවිධාන කර තිබේ. ඊට අමතරව සවුදි අරාබි රාජධානිය ඇතුළු අරාබි දිවියාගේ නිවහන ලෙස සැලකෙන රටවල් ඔවුන්ගේ පැවැත්මට දායක වන විවිධ මුලපිරීම් හරහා එය ආරක්ෂා කිරීම වෙනුවෙන් දරන උත්සාහය මෙවැනි වැඩසටහන් මඟින් ඉස්මතු කරයි.