සන්නිවේදන සමාගමේ ගබඩාවේ ගින්නක් කෝටි ගණනක දේපළ අළු

පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන ඇතුළු සේවා රැසක් සපයන කොන්ත්‍රාත් සමාගමකට අයත් පෞද්ගලික ගබඩාවක (10) දා සිදුවූ ගින්නකින් එහි තිබූ කෝටි ගණනක් වටිනා දේපළවලට හානි සිදුව ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

එදින නිවාඩු දිනයක් හෙයින් ගබඩාවේ කිසිවකුත් රැඳී සිට නොමැති අතර ඒ හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

මෙම ගබඩාව දෙසින් දහවල් 11 පමණ කිසියම් දුමක් නැගෙනු යාබද ගරාජයක හිමිකරුවකු දැක ගබඩාව පිහිටි ඉඩමේ හිමිකරුට ඒ බව දන්වා විපරම් කිරීමේදී ගබඩාව දෙසින් ගින්නක් හටගෙන ඇති බව දැක අසල්වාසීන් එක්ක ගින්න නිවා දැමීමට උත්සාහ කර තිබේ.

පසුව එය ව්‍යර්ථ වීම නිසා පොලිසිය හා කෝට්ටේ ගිනි නිවන දෙපාර්තමේන්තුව දැනුවත් කොට තිබේ.

පසුව කෝට්ටේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ කාර්යභාර නිලධාරී ඩී. ඩී. සුනන්ද මහතා ඇතුළු ගිනි භටයන් විසි දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ විනාඩි 45 ක් වැනි කෙටි කාලයක් තුළදී ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ බව පැවසේ.

මේ සඳහා කෝට්ටේ දෙහිවල සහ කොළඹ ගිනි නිවන රථ තුනක් සහ ජල බවුසර් තුනක සහාය ලබාගත් බව කාර්යභාර නිලධාරී ඩී. ඞී. සුනන්ද මහතා පවසයි.

ඒ වනවිටත් ගින්නෙන් දුරකථන ඇතුළු විවිධ සන්නිවේදන සැපයුම් සඳහා භාවිතා කරන වයර් ඇතුළු උපකරණ රැසකට හා ගබඩාවට බරපතළ හානි සිදුව තිබූ බව කාර්යභාර නිලධාරී ඩී. ඩී. සුනන්ද මහතා පැවසීය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව පොලීසිය කියයි.

සිද්ධිය වූ ස්ථානයට රස පරීක්ෂකවරයා පැමිණ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණායතන නිලධාරීහූ ද පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේස් අත්තරගම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත් ගෙදර මහතාගේ මෙහෙයවීමෙන් පො. කො. (71425) තුෂාන්ත, (90068) රත්නායක (103759) පෙරේරා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.