රාගම හෙද සහායක යතුරුපැදි අනතුරින් මරුට

කටුනායක, ඇවරිවත්ත නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණය ඉදිරිපිට දී 10වන දින පස්වරු 04.30 ට පමණ වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව කටුනායක පොලිසිය පවසයි.

මෙම යතුරුපැදිකරු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ සේවයේ නිරත හෙද සහායකවරයෙකු වන කටුනායක වලානගොඩ පදිංචි වික්‍රමනායක පතිරන්නැහැලාගේ හර්ෂ මධුසංඛ නැමැති 36 හැවිරිදි දෙදරු පියෙකි.

කෝවින්න ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සංචාරක ව්‍යාපාරයේ නිරත වෑන් රථයක් පැයට කිලෝ මීටර් 100 ක පමණ වේගයෙන් ගුවන් තොටුපොළ දෙසට ධාවනය කරමින්, ඉදිරියෙන් ගමන් කළ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී, ඉදිරි පසින් පැමිණි යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.

මෙම අනතුර සිදුවීමත් සමඟ වෑන් රථය මීටර් 40 ක් පමණ දුරක් යතුරුපැදිය තල්ලු කර ගෙන ඉදිරියට ඇදී ගොස් තිබූ අතර එයින් යතුරුපැදිය කොටස් දෙකකට කැඩී වෙන් වී පැවති බව ද මේ පිළිබඳ විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීවරයෙක් පැවසීය.

පොලිසිය විසින් මෙම වෑන් රථය පදවා ගෙන පැමිණි රියැදුරු අත් අඩංගුවට ගෙන මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන්පසුව ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද ඉදිරිපත් කර තිබේ.