රන් පදක්කම්ලාභී සුසල් අගමැතිගේ ඇගයුමට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2024 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ (අවුරුදු 18න් පහළ) රන් පදක්කම දිනාගත් එල්.එම් සුසල් ද සිල්වා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාව අගමැති කාර්යාලයේදී පසුගිය (09) වැනිදා හමු වූ අතර එහිදී අගමැතිවරයාගේ ඇගෑයීමට එම ක්‍රීඩකයා ලක්විය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම යොවුන් ක්‍රීඩකයා, රටට ගෙනදුන් කීර්තිය ඉහළින් අගය කළ අගමැතිවරයා, ඔහුට ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා ආශීර්වාද කළේය.

මෙම අවස්ථාවට එම යොවුන් ක්‍රීඩකයාගේ මව, Youth Circle of Sri Lanka හි සභාපති මහීම් දිසානායක, සණස ව්‍යාපාර පුළුල් කිරීම් ප්‍රධානී (සණස ජීවිත රක්ෂණ සමාගම) තුසිත් වීරවර්ධන, සණස පුහුණු කිරීම් ප්‍රධානී (සණස ජීවිත රක්ෂණ සමාගම) සාලිය සිල්වා යනමහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

සුසල් ද සිල්වා, වයස අවුරුදු 15 දී, (2021) ශ්‍රී ලංකාවේ ළාබාලතම ජාතික චෙස් ශූරයා බවට පත් වී, 2022දී අඛණ්ඩව දෙවැනි වරටත් 2023දී තුන්වැනි වරටත් ඔහු ජාතික ශූරතාව දිනා ගත්තේය. ඔහු, ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි පැවති ජාත්‍යන්තර චෙස් තරග ගණනාවක් ද ජයග්‍රහණය කර ඇත.