වායු ගෝලයේ ගුණාත්මකභාවය නරක අතට

දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනුයේ විශේෂයෙන් කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බවයි.

වායු ගුණත්ව දර්ශකයට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල වායු ගුණත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑම් ඇති වන මට්ටමේ පවතින බව සඳහන්ය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කොළඹ, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, බදුල්ල, කුරුණෑගල, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්කවල වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යමය වශයෙන් අයහපත් බලපෑම් ඇති විය හැකි මට්ටමේ පවතින බවයි.

වියළි කාලගුණ තත්ත්වය හා අසල්වැසි රටවලින් හමා එන අහිතකර දූවිලි අංශු එම තත්ත්වයට හේතු වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

මේ හේතුවෙන්, හෘද රෝග, ශ්වසන රෝගවලින් පසු වන පුද්ගලයින්, වයස්ගත පුද්ගලයින් හා කුඩා ළමුන් එළිමහනේ දී මුව ආවරණ පැළලඳීම සිදුකිරීම වැදගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ දැනුම් දෙයි.

එම සංවිධානය සඳහන් කළේ විශේෂයෙන් කැලෑ ගිනි තැබීම්, කැලිකසළ දහනය, රථවාහන ධාවනය යන කරුණු මෙලෙස වායු දූෂණය ඉහළ යාමට හේතු වන බවයි.