උපන් බිම යළි ගොඩනැඟීමට ක්‍රියාකාරිව එකතු වන්න

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන්ට ජනපතිගෙන් ඇරියුම්

ජනපතිගේ ආර්ථික වැඩපිළිවෙළ එරට ශ්‍රී ලාංකිකයන්ගේ පැසසුමට

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට ඊයේ (9) ඇරියුම් කළේය. ඔහු මේ ඉල්ලීම සිදු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් ඊයේ (9) පෙරවරුවේ පැවැත්වුණු අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ශ්‍රී ලාංකිකයෝ දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනයට අදාළව රජයට සහාය දීමටද කැමැත්ත පළ කළහ.

ඔවුන් මතු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රටේ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය කැප වී සිටින බවයි. පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඇතුළු ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව දැනුවත් කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා කරුණු පැහැදිලි කළ අතර, රජය සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට එමඟින් අවස්ථාව සැලසෙන බවද පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සාගල රත්නායක මහතා මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ අඛණ්ඩ සහාය ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහාය ගැනීමට රජය ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න යන මහත්ම මහත්මීහු සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.