මෙරටට හොරෙන් ගෙනා ජංගම දුරකතන 525ක් උපාංග තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද ජංගම දුරකතන 525ක් සහ උපාංග තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (07) වැල්ලම්පිටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය පොලිස් වසමේ කොළොන්නාව විහාර මාවත ප්‍රදේශයේදී මේ වැටලීම සිදු කර ඇත.

එහිදී තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ජංගම දුරකතන, ජංගම දුරකතන උපාංග සහ ඔරලෝසු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ 12, අබ්දුල් හමීඩ් මාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ක් හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ වරායේ පිහිටි ශ්‍රී ලංකා රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.‍ සැකකරු සන්තකයේ තිබී ARROUS FO 1J වර්ගයේ ජංගම දුරකතන 43ක්, MI NOTE 3 වර්ගයේ ජංගම දුරකතන 28ක්, OPPO F15 වර්ගයේ ජංගම දුරකතන 10ක්, HANDY 770 වර්ගයේ ජංගම දුරකතන 16ක්, KYDCERN 404 වර්ගයේ ජංගම දුරකතන 20ක්, VIVO X7 වර්ගයේ ජංගම දුරකතන 15ක්, SONY Z4 වර්ගයේ ජංගම දුරකතන 19ක්, SONY 25 COMPACT වර්ගයේ ජංගම දුරකතන 42ක්, VIVO Y67 වර්ගයේ ජංගම දුරකතන 40ක්, SONY 25 වර්ගයේ ජංගම දුරකතන 25ක්, SONY XZ 1 වර්ගයේ ජංගම දුරකතන 45ක්, LGK 505 වර්ගයේ ජංගම දුරකතන 10ක්, SONY Z3 වර්ගයේ ජංගම දුරකතන 12ක්, NOKIA 106 වර්ගයේ ජංගම දුරකතන 200ක්, SMART WATCHE (ස්මාර්ට් ඔරලෝසු) 10ක්, AIR PODS PRO (හැන්ඩ්ස්ෆී) 15ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන්, විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්. පී. එම්. එස්. කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර තිබේ.