දිඹුලාගල සෙල්ලිපියෙන් ක්‍රි.පූ. දෙවැනි සියවසේ තොරතුරු රැසක්

මෙරටින් මෙතෙක් හමු වූ විශාලතම සෙල්ලිපියෙන් ක්‍රි.පූ දෙවැනි සියවසේ හෝ ඊට පෙර සමයක විසූ දේශපාලන චරිත රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වනු ඇතැයි ඒ සෙල් ලිපිය කියවීමේ කමිටුවේ සම සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (8) පැවති ඒ සෙල්ලිපිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මේ සෙල්ලිපිය පිළිබඳ මූලික වාර්තාව පමණක් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාට ඊයේ (8) භ‍ාර දෙනු ලැබූ අතර, මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, වැඩ බලන පුරා විද්‍යා කොමසාරිස් ජනරාල් නිශාන්ති ජයසිංහ, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක බුද්ධි නාගොඩවිතාන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ. මාධ්‍ය හමුවේදී සෙල්ලිපියේ අතිශය දීර්ඝ වූ ස්පර්ශ සටහනද දිගහැර දක්වනු ලැබීය.

වෙළෙඳ ආයතනයක් පිළිබඳවද සෙල්ලිපියේ සඳහන් වන බව කී මහාචාර්යවරයා එනිසා මෙතෙක් අනාවරණය වී ඇති තොරතුරුවලට අමතරව ආර්ථික කටයුතුවල යම් සංවර්ධනයක් පැවති බවට අනාවරණය කරගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය. ඉදිරියේදී සෙල්ලිපියේ තවත් පිටපතක් ගෙන සංසන්දනාත්මකව නැවත සෙල් ලිපිය කියවිය යුතුයැයිද වැඩිදුරටත් සඳහන් කළ මහාචාර්යවරයා එහි සඳහන් පුද්ගල චරිත, සංඥා නාම, ස්ථාන නාම ආදිය පිළිබඳ තව දුරටත් සාකච්ඡා කර, එම තොරතුරු ඉදිරියේදී ජනතාවට වාර්තා කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා:

“අප අද දින දිඹුලාගල සෙල් ලිපියේ මූලික වාර්තාව ඉදිරිපත් කරන්නෙ සෙල් ලිපියේ ස්පර්ශ ලාංඡන පිටපත ආශ්‍රය කරගෙන. මේ ස්පර්ශ පිටපත අඩි 48ක් පමණ දිගයි; අඩි 5ක් පමණ පළලයි. අක්ෂර පේළි 10ක් තිබෙනවා. විවිධ කෝණවලින් අප මේ ශිලා ලේඛනය පිළිබඳ සොයා බලන්න උත්සාහ කළා. මේ ශිලා ලේඛනයේ සැලකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් තිබෙනවා. ස්පර්ශ පිටපත අනුව 60%ක් විතර කියවන්න බැහැ. 40%ක් පමණ ප්‍රමාණයක අකුරු යම් ප්‍රමාණයකට හඳුනාගත හැකියි. මේ ශිලා ලේඛනය සඳහා බ්‍රාහ්මිය අක්ෂර යොදාගෙන තිබුණා. ඒ සඳහා අකුරු 24ක් පාවිචිචි කර ඇති බව පෙනී ගියා. අකුරු දාහක්වත් මෙහි ඇති බව අප දළ වශයෙන් ගණනය කළා. ඒ වගේම මෙහි සංකේත විශේෂයක් තිබුණා. ඒවා මෙතෙක් ශිලා ලේඛනවල දක්නට නොලැබුණ ඉතා දුර්ලභ සංකේත.

“අක්ෂර ලක්ෂණ අනුව අප කණ්ඩායමේ සියලු දෙනාම තීරණය කළා මේ සෙල් ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට යා හැකි බව. ඒ වගේම අප තීරණය කළා මෙහි තිබෙන පුද්ගල චරිත, සංඥා නාම, ස්ථාන නාම ආදිය පිළිබඳ තව දුරටත් සාකච්ඡා කර, එම තොරතුරු ඉදිරියේදී වාර්තා කරන බව.”

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාද මෙහිදී අදහස් දැක්වීය.