Online Safety පනත සම්මත කිරීමේදී රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කරලා – විපක්ෂ නායක

අධිකරණය ලබාදුන් තීරණ පැහැර හරිමින් Online Safety පනත සම්මත කිරීම, රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පනත් කෙටුම්පතේ 16 වැනි සහ 19 වැනි වගන්ති ඉවත් විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පැහැදිලිව සඳහන්ව තිබුණද, පනත සම්මත කර ඇත්තේ එම වගන්ති ඉවත් කිරීමෙන් තොරව බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම තවත් වගන්තියක, අන්තර්ජාල සේවා සපයන්නෙකුට හෝ අන්තර්ජාල අතරමැදියෙකුට ඔන්ලයින් ස්ථානයක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව අහිමි කිරීම සඳහා මහේස්ත්‍රත් වරයෙකු විසින් ලබාදෙන නියෝගයක් අවශ්‍ය බව අධිකරණය නිර්දේශ කර තිබුණද, සම්මත වූ පනතේ ඇති වගන්තියෙන් මහේස්ත්‍රාත් විභාගයකින් ​තොරව එසේ නියෝග නිකුත් කිරීමේ බලය ලබා දී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි අවස්ථා ගණනාවකදී පනත සම්මත වී ඇත්තේ අධිකරණය ලබා දුන් නිරීක්ෂණ නොතකා බවත්, එය රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.