ව්‍යාපාරිකයෙකු සහ වෛද්‍යවරයෙකු පැහැර ගෙන ගිහිං

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගැනීම සම්බන්ධයෙන් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මාතර නගරයේ දී ව්‍යාපාරිකයෙකුව මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි මාතර පොලිස් ස්ථානයට ඊයේ (07) පැමිණිල්ලක් ලැබී ඇත.

පසුව එම සැකකරුවන් මාලිම්බඩ පොලිස් වසමේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත පැහැරගැනීම සිදුකළ සැකකරුවන් පස්දෙනෙකු හා පැහැරගැනීමට යොදාගත් මෝටර් රථය මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 30, 37 සහ 50 යන වයස්වල පසුවන දෙනිපිටිය හා තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ව්‍යාපාරිකයාද සිටින බව පොලිසිය සඳහන් කළේය.

පැහැරගැනීමට ලක්වූ ව්‍යාපාරිකයා මාතර ප්‍රදේශයේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයේ නව ශාඛාවක් විවෘත කිරීමේ උත්සවයකට පැමිණ සිටි අවස්ථාවේ දී මෙම සිදුවීමට මුහුණපා තිබේ.

පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබෙන්නේ මුදල් ආරවුලක් මත මෙම පැහැර ගැනිම සිදුකර තිබෙන බවය.

මේ අතර, වෛද්‍යවරයෙකුව පැහැරගෙන ගොස් හික්කඩුවේ ස්ථානයක සිරකරගෙන සිටින බවට ඊයේ පොලිස් සහන මැදිරිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

මීටියාගොඩ පොලිස් වසමේ, තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේ දී වෛද්‍යවරයා පැහැරගෙන විත් සිරකර සිටිය දී මුදවාගත් බව පොලිසිය පවසනවා.

පසුව 28 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වූ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍යවරයා මේ වනවිට නිරුපද්‍රිතව සිටින බවත් මෙම පැහැරගැනීම ද මුදල් ආරවුලක් මත සිදුකර තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන්ම වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.