ජනාධිපති ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) අලුයම නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

පෙබරවාරි මස 9 වන දා සිට 10 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන්දීය පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් අනුව සංචාරයට එක්වන ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳව ද සොයා බැලීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.