විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති කොළොන් ගසට යටවී මරුට

ගසක් කපා බිම හෙළීමට යද්දී එම ගසටම යට වී දඹුල්ල සිසිරවත්ත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයකු පෙරේදා (04) පස්වරුවේ මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ දඹුල්ල සිසිරවත්ත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. එම්. ජයසේන 73 හැවිරිදි අයෙකි. දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ ඔහුගේ හිතවතුන්ගේ ගෙවත්තක තිබූ විශාල කොළොන් ගසක් කපා ඉවත් කිරීම සඳහා කිහිපදෙනෙකු එක්ව ක්‍රියාකොට ඇතැයි පොලිසිය පවසයි.

අඩි පනහකට වඩා උසින් යුතු මෙම කොළන් ගස කිහිපදෙනෙකු කියත් යන්ත්‍රයක් යොදාගෙන මුලින් කැපීම සිදු කරද්දී කඳ මැදට ලණුවක් දමා තවත් කිහිපදෙනෙකු ගස පෙරළීම සඳහා උත්සාහ කර ඇතැයි පොලිසිය පවසයි.

එම ගස ඇඳීම සඳහා ඇති ලණුව දිග ප්‍රමාණය අවම වීම නිසා ඇදීම සිදු කළ පිරිස ගස පෙරළෙනවාත් සමඟ ඉන් ඉවතට පැනීමට සාකච්ඡා කරගෙන තිබුණු බවත් ඥාතීහු පවසති. එහෙත් ගස විශාලත්වය හේතුවෙන් එකවරම ගස පතිත වී මෙම අයගේ සිරුර මත වැටී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි. සිද්ධියෙන් පසුව ප්‍රදේශවාසීන් ගසට යට වී සිටි පුද්ගලයා වහාම දඹුල්ල මූලික රෝහලට රැගෙන යන අවස්ථාව වන විටත් මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදී ඊයේ (05) පැවැත්වීමට නියමිත බව දඹුල්ල පොලිසිය පවසා සිටියේය.