ලක්ෂ 11ක තඹ කම්බි කපලා

විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රාදේශීය පාලන කුටිවලින් රුපියල් ලක්ෂ 11ක් පමණ වටිනා තඹ කම්බි තොගයක් සොරා ගත් හමුදාවෙන් පලා ආ සෙබලෙකු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. මෙසේ අත්අඩංගුවට පත් වූයේ රාජගිරිය, බණ්ඩාරණායකපුර පදිංචි 33 හැවිරිදි අයෙකි.

ඔහු මීට පෙර මෙවැනිම සිද්ධි පහකට අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටින සැකකරුවකු බවද පොලිසිය පවසයි. දිගින් දිගටම විදුලිබල මණ්ඩලයට අයත් බොරැල්ල, මට්ටක්කුලිය, මෝදර, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ, රාජගිරිය ආදි ප්‍රදේශවල ප්‍රාදේශීය පාලන කුටිවලින් තඹ කම්බි සොරාගැනීම් පිළිබඳ ලැබි තිබූ පැමිණිලිවලට අනුව මේ පිළිබඳ විමර්ශන සිදු කරන ලෙස බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති මාරපන මහතා විසින් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ලිලිත් අබේසේකර මහතා වෙත නියෝග කර තිබේ. ඒ අනුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමිත් ජයසිංහ යටතේ ඒකක 01 මඟින් සිදු කළ විමර්ශනයේදි පොලිස් සැරයන් 38723 රංජිත් නිලධාරියාට ලද තොරතුරකට අනුව බොරැල්ල සරණපාල හිමි මාවතේදී මොහු අත් අඩංගුවට පත් වි ඇත්තේ තඹ කම්බිවලට යොදා ඇති ප්ලාස්ටික් ආවරණ විකිණිම සඳහා රැගෙන යමින් සිටියදීය. මොහු විසින් බොරැල්ලේ ගෝතමි පාර, රෝයල් පාර්ක් පාර හා කිතුල්ගොඩ පාරේ පිහිටි විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රාදේශිය පාලන කුටි බිඳ තඹ කම්බි සොරා ගෙන ඇති බවද අණාවනරය වි තිබේ. සොරා ගත් තඹ කම්බි බොරැල්ලේ බේස්ලයින් මාවතේ තඹ අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වි තිබේ. විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරි එම්. එම්. උතාන් මහතා විසින් බොරැල්ල පොලිසියට මේ පිළිබඳ පැමිණිලි කර තිබු බවද පොලිසිය පවසයි. පොලිස් සැරයන් 38723 රංජිත්, 21284 බණ්ඩාර, 69598 අනිල්, කොස්තාපල් 104619 කිත්සිරි, 104675 කේශර යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.