රන්මාල කොල්ලකෑ පයාගල මකා දැලේ

කළුතර සහ පානදුර ප්‍රදේශවල මහ මඟ ගමන්ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල යතුරුපැදිවලින් ගොස් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල මකා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන 25 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් පයාගල පඹේ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් යමින් සිටිය දී සැකකරු නවතා පරීක්ෂා කොට හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් හයයි මිලිග්රැම් 670ක් සහ යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී කොල්ලකෑ රන්මාලයක් සොයාගත් බවත් පොලිසිය කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතාගේ මෙහෙයවීමෙන්, සැරයන් වරුන්වන කුමාර (11700) කුමාරසිරි (4928), කොස්තාපල් වරුන්වන ගුණවර්ධන (85848), ඉහළගේ (24504), උපුල් (95627), කුමාර (26974), ප්‍රනාන්දු (105073) යන නිළධාරීන් වැටලීමට එක්වූහ .