උණ රෝගය දෙහැවිරිදි දැරියට මරු කැඳවයි

උණ හා සෙම අධිකවීමෙන් අසාධ්‍යය තත්ත්වයෙන් රෝහල් ගත කරන ලද අවුරුදු දෙකක් වයසැති දියණියක නිදහස් දිනය දා (04) මරණයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පොල්පිතිගම, මොරගොල්ලාගම, පහළ කැලේ ලිපිනයේ පදිංචිව සිටි ජේ .එම්.රිතුකී අමීෂා ජයසුන්දර නැමැති දැරියකි.

දැරියගේ වසර දෙක සපිරෙන උපන් දිනය සැමරීමට තිබුණේ අද (06) දිනයේදි ය. ඊට පෙර ඇය උණ රෝගයට ගොදුරු වූවාය. 03 දින සවස් යාමයේ පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කළ සැනින් කඩිනම් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරියකගේ අධික්ෂණය යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගොස් තිබේ.

මෙම දැරිය ⁣තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වන අතර, අනෙක් දෙදෙනාද මේ වනවිට උණ රෝගය වැළදී කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද රෝහල් සේවකයෙක් පැවසීය.

මිය ගිය දැරියගේ අවසන් කටයුතු ඊයේ 05 දින සවස් යාමයේ පහළකැලේ පොදු සුසාන භූමියේදී සිදු කළාය. මියගිය රිතුකී අමීෂා ජයසුන්දර.