යටලමත්ත සිසු සිසුවියන්ට පොත්පත් හා පාසල් උපකරණ

ගාල්ල යටලමත්ත මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්හට පොත්පත් හා පාසල් උපකරණ බෙදා දීම පවර් නෙට් පෞද්ගලික සමාගමේ අධිපති විමල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (02) වැනිදා එම විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.

එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව විමල් සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සියලු ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 144 දෙනෙකුහට එම ශ්‍රේණිවලට අදාළ පොත්පත් හා උපකරණ කට්ටල සහ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් 06 දෙනෙකුහට සමරු පදක්කම් පැලඳ වීමද සිදු කෙරිණි.

දරුවන්ගේ අධ්‍යාපනයට දිරිදීමක් හා ඒ ඔස්සේ පාසලට ප්‍රජාවගේ ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට විමල් සිල්වා මහතා ලබාදුන් දායකත්වයට පාසල් පද්ධතියේම ප්‍රණාමය පුදකර සිටින බව විදුහල්පති පී. ජී. සමන් ජයලාල් මහතා පැවැසීය.

දරු දැරියන්ගේ නැටුම්, ගැයුම් හා වැයුම් වලින් සමන්විත විචිත්‍රවත් ප්‍රසංගයක්ද පැවැත්වුණ අතර පවර් නෙට් සමාගමේ අධිපති විමල් සිල්වා මහතා සිදුකළ පරිත්‍යාගය වෙනුවෙන් එම විද්‍යාලය විසින් ඒ මහතාට සමරු තිළියක්ද ප්‍රදානය කළේය.

දරුවන් වෙනුවෙන් එක පොතක් හෝ පරිත්‍යාග කර අනාගතය වෙනුවෙන් එම දරුවන් පෙළ ගස්වන්නැයි ඉල්ලා සිටී විමල් සිල්වා මහතා තමන් ට හැකි පමණින් ඉදිරියේදී ද දරුවන් වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් සිදුකිරීමට සූදානම් බව පැවැසීය.