මුන්දලම කලපුවේ මසුන් මරන්න ගෙනා තහනම් තංගුස් දැල් තොගයක් අත්අඩංගුවට

දැල්වල වටිනාකම ලක්ෂ 2කට වැඩියි

මුන්දලම කලපුවේ මසුන් මැරීම සඳහා දමා තිබූ තහනම් නීති විරෝධි දැල් සොයා සිදු කල මෙහෙයුමකදී ලක්ෂ දෙකකට වැඩි තංගුස් දැල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පසුගියදා (1) පැවසීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත අනුව තහනම් කරන ලද නීති විරෝධී තංගුස් දැල් තොගයකි.

අදාළ වැටලීම මුන්දලම කලපුවේ පුනපිටිය, ආඩිමුනේ, පුලිච්චාකුලම ඇතුළු ප්‍රදේශවල සිදු කර ඇති අතර, එහිදී තහනම් දැල් දමා මසුන් මරමින් සිටි ධීවරයන් නිලධාරීන් එනු දැක පලා ගොස් තිබේ.

දිගින් දිගටම මුන්දලම කලපුවේ තහනම් දැල් යොදා ගනිමින් මසුල් ඇල්ලීම ඉහළ ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා හා කොට්ඨාස භාර ධීවර නිලධාරී අරුණ කීර්ති කුමාර මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීමට එක්ව සිටියහ.

වැටලීමේදී අත්අඩංගුවට ගත් තහනම් දැල් තොගය පුත්තලම ධීවර කාර්යාල භාරයට ගෙන තිබිණි.