කේරළ ගංජා කිලෝ 15ක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මාට්ටු

යාපනයේ මනිපායී ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 15ක් සමඟ එක් සැකකරුවකු පෙරේදා (03) අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙම සැකකරු යාපනයේ මත්ද්‍රව්‍ය තොග වශයෙන් අලෙවි කරන පුද්ගලයෙකු බවට තොරතුරු හෙළි වී ඇති අතර මොහුට මීට පෙර යාපනය අධිකරණයේ ගොනුකොට තිබූ මත්ද්‍රව්‍ය චෝදනා පහකින් හතරකටම වැරැදිකරුවකු වූ පුද්ගලයෙකු ලෙසද හෙළිදරව් වූ තොරතුරුවල සඳහන් වෙයි.
යාපනය පොලිසිය විසින් සැකකරු හා කේරළ ගංජා තොගය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.