සනත් නිශාන්තට එරෙහි පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අවසර

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර ලබාදී තිබෙනවා.

මෙම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර සනත් නිශාන්ත මේ වන විට මියගොස් ඇති බැවින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත්, ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිට තිබෙනවා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.