ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක්

මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වන බවයි සඳහන් වන්නේ.

ඵලදායී තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළම භාවිතයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි මුල්‍ය හා ආයතනික ධාරිතාව ඉහළ නැංවීම ද ව්‍යාපෘතියේ අරමුණක් වනවා.

ඒ අනුව මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙනුවෙන් ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් එච්. හඩාඩ්-සර්වොස් අත්සන් තබා තිබෙනවා.