ඕෂද නොදැවී 200යි

ඕෂද ප්‍රනාන්දු වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් එන්එස්එල් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයකදී කොළඹ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු 5කට ලකුණු 361ක් රැස් කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය.

දඹුල්ලේපැවැත්වෙන දෙවැනි දිනයට තරගය නතර කරන විට ගාලු පිල කඩුලු 5ක් අතැතිව කොළඹ පළමු ඉනිමට වඩා ලකුණු 65ක් ඉදිරියෙන් සිටියේය. කොළඹ පිල සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 296ක් පමණි.

ගාලු පළමු කඩුල්ල ලකුණු 2ක් වෙද්දී බිඳ වැටීමෙන් අනතුරුව ඕෂදට එක් වූ නිශාන් පීරිස් (46) ලකුණු 122ක්, සිව්වැනි කඩුල්ලට ලක්ෂාන් එදිරිසිංහ (46) ලකුණු 104ක් එක් කිරීමට සමත් වූහ. ඊයේ දිනය නිමා වන විට ඕෂද නොදැවී ලකුණු 200ක් රැස් කර සිටියේ පන්දු 280කදී හතරේ පහර 23ක් සහ හයේ පහරක් සමඟිනි.

සොනාල්ගෙනුත් ශතකයක්

මේ අතර පල්ලෙකැලේ පැවැත්වෙන තරගයේදී දඹුලු ඉනිමට ශතකයක් එක් කිරීමට නායක සොනාල් දිනූෂ සමත් විය. යාපනය පිලට එරෙහිව පැවැත්වෙන මේ තරගයේ පළමු දිනය වූ පෙරේදා දඹුලු පිල වෙනුවෙන් රනේෂ් සිල්වා ලකුණු 100ක් රැස් කළ අතර, ඊයේ සොනාල් රැස් කළ ලකුණු 112ත් හේතුවෙන් දඹුලු පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 392ක් රැස් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *