පැරිස් ඔලිම්පික් උලෙළේ මලල ක්‍රීඩා රන් පදක්කමට කෝටි එකහමාරක සල්ලි මල්ලක්

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩාවලදී ජය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් තෑගි හඳුන්වාදීමට සූදානම් වේ. ඒ අනුව මේ වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළේදී මලල ක්‍රීඩා ඉසව්වලදී රන් පදක්කම් දිනා ගන්නා සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම අමෙරිකානු ඩොලර් 50,000 බැගින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි එකහමාරක්) ගෙවන බව ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ පවසා සිටී.

ඉතිහාසයේ මෙතෙක් පැවති කිසිදු ඔලිම්පික් උලෙළකදී මුදල් තෑගි ලබාදීමට පියවර ගෙන නැති අතර මෙවර ආරම්භයක් ලෙස මලල ක්‍රීඩා ඉසව්වලදී මුදල් තෑගි ප්‍රදානය කිරීමට සූදානම් වේ.

පැරිස් ඔලිම්පික් උලෙළේදී මලල ක්‍රීඩා පිරිමි, කාන්තා සහ මිශ්‍ර ඉසව් 48කදී දිනා ගන්නා රන් පදක්කම් වෙනුවෙන් ගෙවීමට අමෙරිකානු ඩොලර් මිලියන 2.4ක් වෙන් කරන බව ලෝක මලල ක්‍රීඩා පාලක මණ්ඩලය කටයුතු යොදා තිබේ. සහය දිවීමේ ඉසව්වල ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයන් අතර අමෙරිකානු ඩොලර් 50,000 බෙදාදීමට තීරණය වේ. ඔලිම්පික් උලෙළේ රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන් සඳහා ගෙවීම් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ වාර්තාකරුවන්ට පැවසුවේ අපගේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උලෙළේ තරු බවට පත්වන බවය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) ලෝක මලල ක්‍රීඩා සඳහා බෙදාහරින ඔලිම්පික් ආදායමේ කොටසෙන් ත්‍යාග මුදල ලැබෙනු ඇත.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සිය ආදායමෙන් 90%ක්, විශේෂයෙන්ම ජාතික ඔලිම්පික් කමිටු (NOC) සහ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන වෙත බෙදාහරින බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“මෙයින් අදහස් කරන්නේ, සෑම දිනකම අමෙරිකානු ඩොලර් මිලියන 4.2කට සමාන මුදලක් ලොව පුරා සෑම තරාතිරමකම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ක්‍රීඩා සංවිධානවලට උපකාර කිරීම උදෙසා බෙදාදෙන බවයි. එම මුදලින් ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ඔවුන්ගේ ක්‍රීඩාවේ සංවර්ධනයට වඩාත් හොඳින් සේවය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට හැකියාව ලැබෙනවා” එම නිවේදනයේ දැක්වේ.

මෙතෙක් පැවති ඔලිම්පික් උලෙළවලදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ත්‍යාග මුදල් ප්‍රදානය නොකළද, බොහෝ පදක්කම්ලාභීන්ට ඔවුන්ගේ රටවල රජයන්, ජාතික ක්‍රීඩා සංගම් හෝ අනුග්‍රාහකයන්ගෙන් ගෙවීම් කරනු ලැබූහ.

එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුව විසින් පසුගිය ටෝකියෝහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී රන් පදක්කමකට අමෙරිකානු ඩොලර් 37,500ක් ප්‍රදානය කළ අතර සිංගප්පූරු ජාතික ඔලිම්පික් කවුන්සිලය රන් පදක්කමකට ඩොලර් මිලියනයක පොරොන්දුවක් ලබා දුන්නේය. ක්‍රීඩා අමාත්‍යාංශය ද ඔලිම්පික් රන් පදක්මකට රුපියල් කෝටියක තෑගි මුදල් ලබාදෙන බව මෙයට වසර ගණනාවකට උඩදී ප්‍රකාශයක් නිකුත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *