ඉන්දුනීසියාවේ මැතිවරණයෙන් සුහර්තෝගේ බෑනනුවන් ඉදිරියෙන්

ඉන්දුනීසියාවේ ආරක්ෂක ඇමැති ප්‍රබෝවා සුබියන්ටෝ එරට ජනාධිපති සටනින් ජයගෙන ඇතැයි නිල නොවන ප්‍රතිඵල පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 72 හැවිරිදි සුබියන්ටෝ හිටපු හමුදාපතිවරයා ද වන අතර, ඉන්දුනීසියාවේ හිටපු නායක සුහර්තෝගේ බෑනනුවන් වේ. පළමු වටයේ ඡන්ද විමසීමේදී ඔහු 57%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇතැයි ද, දෙවැනි වටයේ ඡන්ද විමසීමකින් තොරව නව ජනපති ලෙස පත්වනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ඔහු දැනටමත් සිය ජයග්‍රහණය සමරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඔහු සමඟ ජනාධිපති සටනට පිවිසී සිටි ජකර්තා නුවර හිටපු ආණ්ඩුකාරවරුන් වන ගනජර් ප්‍රනෝවෝ සහ අනීස් බස්වෙඩන් පිළිවෙළින් 17%ක සහ 25% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා අන්ත පරාජයට පත් වූ බවත් නිල නොවන ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවද නිල ප්‍රතිඵල නිකුත් වනතුරු බලා සිටින ලෙස පරාජිතයන් දෙදෙනාම ජනතාවට ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. එක් දිනක් තුළ ලොව පවත්වනු ලබන විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ජනාධිපතිවරයකු, උපජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තු නියෝජිතයන් පත් කරගැනීමේ ඉන්දුනීසියාවේ මැතිවරණයේ නිල ප්‍රතිඵලය නිකුත් වීමට නියමිතව ඇත්තේ මාර්තු මස 20 වැනිදාය. මෙවර මැතිවරණයට මිලියන 200කට අධික ඡන්දදායකයන් පිරිසක් ඡන්දය භාවිත කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *