ආණ්ඩුව පරාටේ නීතිය අත්හිටුවා තිබෙන්නේ ණය පැහැර හරින්නන් කීපදෙනෙකුගේ බලපෑම් නිසා – ශ්‍රී ලංකා බැංකු සංගමය

පාර්ලිමේන්තුව හරහා පවතින නීති සංශෝධනය කරන තුරු, සුදුසු අවස්ථාවලදී බැංකු විසින් පරාටේ ප්‍රතිකර්මය භාවිත කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසනවා.

සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවීමට ආණ්ඩුව ඒකපාර්ශවීය තීරණයක් ගෙන ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම තීරණය හේතුවෙන් ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳු වූ බැංකු ක්ෂේත්‍රයට විශාල සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව එම සංගමය සඳහන් කළා.

මේ පිළිබඳව බැංකු සමඟ කිසිඳු සාකච්ඡාවක් සිදුකර නොමැති බව පෙන්වා දුන් සංගමය, රජයේ මෙම තීරණය හේතුවෙන් සියලුම ව්‍යාපාරිකයන්ට ණය ලබා ගැනීමේ පිරිවැය වැඩි වනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළේ.