යාපනයෙන් ආ එළවළු දඹුල්ල ආර්ථිකයේ ගණන් බස්සයි

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණු සෑම එළවළුවක්ම සියයට හැට පහක්, හැත්තෑවක් පමණ අඩු වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

වෙළෙන්දන් පෙන්වා දෙන්නේ යාපනය චුන්නාගම් ප්‍රදේශයේ සාර්ථකව වගා කරන කැරට්, මාළු මිරිස් සහ බීට් අස්වනු වැඩි වශයෙන් වෙළෙඳපොළට ලැබීම හේතුවෙන් රුපියල් 1000ත්, 2000ත් අතර මිලකට පසුගිය කාලයේ අලෙවි වූ කැරට් කිලෝව 12 වැනි දින වන විට රුපියල් 500 දක්වා අඩු වී ඇති අතර, යාපනයේ ලැබෙන කැරට් කිලෝව රුපියල් 500කට අලෙවි වන බවයි. රුපියල් 450ක් පමණ ඉහළ ගිය බීට් කිලෝව රුපියල් 250 දක්වා පහත වැටී ඇති බවත්, රුපියල් 450ත් 550ත් අතර මිලකට අලෙවි වූ වම්බටු රුපියල් 150ත් 200ත් දක්වා පහළ වැටී ඇති බවත් වෙළෙන්දෝ පෙන්වා දෙති. එමෙන්ම අනෙකුත් සෑම එළවළුවක්ම විශාල වශයෙන් පහත වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන එළවළු තොග බව ඔවුහු පෙන්වා දෙති.

අමු මිරිස්, මාළු මිරිස්, වම්බටු ආදී එළවළුවලට අමතරව රතු ලූනු තොග ද යාපනය අර්ධද්වීපයෙන් මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබිණි.

රුපියල් 1,500කට අලෙවි වූ මාළු මිරිස් කිලෝව යාපනයේ එළවළු ලැබීමත් සමඟ රුපියල් 800 දක්වා පහත වැටී තිබේ.