කිරි මණ්ඩලයේ ගොවිපොළ නිරීක්ෂණය​ට ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් මෙරටට පැමිණේ

ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිත පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට මෙරටට පැමිණ ඇති බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා.

මෙරට දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ගිවිසුමක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පසුගියදා අත්සන් කළ අතර එයට අනුව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපොළ ඉන්දියාවේ අමූල් සමාගමට බදු දීමට සැලසුම් කර තිබෙනවා.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව ගොවිපල 31 ක් ඇති අතර ඒවායේ භූමි ප්‍රමාණය අක්කර 28,000 කට අධික බවත්, පැමිණි පිරිස ඊයේ (08) සිට ගොවිපොළ පරීක්ෂා කිරීම ආරම්භ කළ බවත්, එම කණ්ඩායම විසින් මෙම ගොවිපොළවල ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කරනු ඇති බවයි පැවසෙන්නේ.

එම ගොවිපොළ අමූල් සමාගමට බදු දීමට පෙර ඒවායේ වටිනාකම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බවත්, එම කටයුතු මේ වනවිට 80% කින් පමණ අවසන් කර ඇති බවත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.