වඳවෙමින් සිටින බටු කැස්බෑවෙක් මසට ගෙනියද්දී දැලේ

වඳ වීමට ලක්ව තිබෙන බටු කැස්බෑවකු ළඟ තබාගත් පුද්ගලයන් තිදෙනකු පසුගියදා (01) අලුයම කඹුරුගමුව වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මිරිස්ස අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.
බිත්තර දැමීම සඳහා මෙම බටු කැස්බෑවා කඹුරුගමුව වෙරළ තීරයට පැමිණි අවස්ථාවේ මස් පිණිස ගැනීම සඳහා සැකකරුවන් කැස්බෑවා රැගෙන යමින් තිබියදී වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. එම සැකකරුවන් ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 28,45 වයසේ පසුවන අය වන අතර ඔවුන් කඹුරුගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් ඉදිකිරීම සඳහා පැමිණ සිටි සේවකයන් බවට තොරතුරු අනාවරණය වී තිබිණි.
දැඩි ආරක්ෂිත සතකු වන මුහුදු කැස්බෑවකු ළඟ තබා ගැනීම යටතේ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වැටලීමට මිරිස්ස වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී එ් .ටී.ආර්. රවින්ද්‍ර මහතාගේ උපදෙස් මත වන සත්ත්ව නියාමක පුබුදු ප්‍රසන්න මහතා, චතුරංග සමරකෝන්, ක්ෂේත්‍ර සහායක දිලිප් රෝහණ සහ රියැදුරු රුවන් පතිරණ යන නිලධාරීහු එක්වූහ.