76 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (04) යොමු කර ඇත.

චීනය හා ශ්‍රී ලංකාව අවංක සහයෝගයකින් බැඳීසිටින, මිත්‍රශීලි උපායමාර්ගික සහයෝගිතා හවුල්කරුවන් වන බව ෂී ජින් පිං මහතා පවසයි. මෑත වසරවල දෙරට සම්බන්ධතාවය විධිමත් හා ස්ථාවර වර්ධන ප්‍රවණතාවක පවතී. පසුගිය ඔක්තෝබර් මාසයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා චීනයේ පැවති තුන්වැනි එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගිතා සම්මේලනයට එක් වූ අතර, තමා සමග පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත් බව ෂී ජින් පිං මහතා සිහිපත් කරයි. තමා ශ්‍රී ලංකාව සමග සම්බන්ධතාවය ඉහළින් අගය කරන අතර, වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව සාම්ප්‍රදායික මිතුදම හා ‍අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කර එකිනෙකාගේ ප්‍රශ්නවලදී අඛණ්ඩ සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

එසේම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ සහයෝගිතා තවදුරටත් තහවුරු කරමින් දෙරට ජනතාවට සුබසෙත උදාකිරීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා තම පණිවුඩයෙන් ප්‍රකාශ කරයි.

මේ අතර චීන අගමැති ලී ච්‍යං මහතා ද, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *