ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් 500කට වැඩි පිරිසක් මරුට – ශ්‍රී ලාංකිකයෙකුත් තුවාල ලබයි

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් උග්‍ර වී ඇති අතර එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම ගැටුම්වලින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඒ අතර එක් ශ්‍රී ලාංකිකයෙක් ද සිටින බවයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.

ගාසා තීරයේ දී ඊශ්‍රායල හමුදා සහ පලස්තීන හමාස් සංවිධානය අතර මෙම ගැටුම් වර්ධනය වෙමින් පවතිනවා.

සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයෙක් ද තුවාල ලැබීමත් සමග, විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි.

එසේම, ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින අතර තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද එහි සඳහන්.

ආදරණීයයන් අහිමි වූ සියලු දෙනාට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර විපතට පත් පවුල්වලට ද අපගේ ශෝකය ප්‍රකාශ කරන බවයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

එසේම, Tel Aviv සහ Ramallah හි ශ්‍රී ලංකා දූත මණ්ඩල තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර විපතට පත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග සම්බන්ධතා පවත්ව පවත්වන බවත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය වැඩි දුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *