අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය අගෝස්තු 17 වැනිදා අතුරුගිරිය පොලිස් වසමේ මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා, බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සඳහා මොහු ආධාර අනුබල ලබා දී ඇති බවට පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, අපරාධය සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදියක් ද සැකකරුගේ නිවසේ තිබී සොයාගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.