නීති පැනවීමෙන් පමණක් අපරාධ වළක්වන්න බැහැ කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (අපරාධ විද්‍යාව) ආචාර්ය අනූෂා එදිරිසිංහ

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ විවිධ ආකාරයෙන් අපරාධ ක්‍රියාත්මක වේ. ඒ අතර සංවිධානාත්මක අපරාධ ප්‍රධාන තැනක් ගනී. මෙම අපරාධ ඉහළ යෑම නිසා පොදු මහජනතාවගේ සහ රටේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවීමට ඉඩ තිබේ. අපරාධ සඳහා නීති සහ දඬුවම් කෙතරම් දැඩි වුවත් මෙම අපරාධවල අඩු වීමක් අපට පෙනෙන්නට නැති බව බොහෝදෙනෙකුගේ අදහසයි. වර්තමානයේ සිදුවන අපරාධ පාලනය හා වැළැක්වීම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (අපරාධ විද්‍යාව) ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය සමඟ සිදු කළ සංවාදයකි.

– අපරාධ නැති කිරීමේ සමාජ වගකීම සැමට තිබෙනවා
– නව මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කරන්න පුළුවන්

අපරාධ සඳහා පෙලඹවීමට බලපාන සමාජ විද්‍යාත්මක සාධක වර්තමානයේ වෙනස් ස්වරූපයක් ගන්නවාද?

ඇත්තටම 60, 70, 80 වගේ දශකවල සහ වර්තමානයේ සිදු වන අපරාධවල වෙනස් ස්වරූපයක් අපිට දකින්න තියෙනවා. මෙම ස්වරූප වෙනස් වීමට ආර්ථික සාධකයේ තිබෙන වෙනස්කම්, විෂමතා එක්ක පදනම් වුණු අපරාධකාරී චර්යා රටාවන් වර්තමානයේ දක්නට ලැබෙනවා. මනුස්සයෙක් කෙසෙල් කැනක් හොරකම් කරන එක සාමාන්‍යය දෙයක්. නමුත් අද සිදුවන අපරාධ මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයක් ගන්නවා. මේ වනවිට පවතින ආර්ථික දුෂ්කරතාවය, රටේ පැවති අරගල වැනි සෑම සංසිද්ධියකම ප්‍රතිඵල නිසා වර්තමානයේ අපරාධවල ස්වරූපය සංකීර්ණ ස්වභාවයක් ගන්නවා. මුදල්මය කාරණය පදනම් කරගනිමින් වර්තමානයේ අන්තර්ජාලය හරහා සිදුවන ඩිජිටල් අපරාධ මහා පරිමාණයෙන් සිදුවීමක් දකින්න පුළුවන්. ඒවා අපරාධ විමර්ශකයන්ට සොයා ගන්න බැරි විදිහට සිදු වෙන්නේ. වර්තමානයේ සිදුවන අපරාධ මඟින් ඉතා පුළුල් බලපෑමක් සමාජයට සිදු කරමින් තිබෙනවා.

වර්තමානයේ සංවිධානාත්මක අපරාධ වැඩිවීමක් පෙන්නුම් කරන්නේ ඇයි?

සංවිධානාත්මක අපරාධ වර්ධනය වීමට විවිධ හේතු සාධක බලපා තිබෙනවා. එයට බලපාන ප්‍රධාන හේතුව ලෙස ආර්ථිකමය සාධකය හඳුනා ගන්න පුළුවන්. පුද්ගලයන්ට ආදායමක් ලැබෙන මූලාශ්‍රයක් විදිහට අපරාධ සංවිධානාත්මකව සිදු කිරීමට මිනිසුන් පෙලඹී සිටිනවා. විරැකියාව ඉහළ අගයක් ගැනීම, ආර්ථික වශයෙන් මිනිසුන් අස්ථාවර වීම නිසා මිනිසුන් සංවිධානාත්මක අපරාධ සිදු කරනවා. ඒ වගේම රටක් විදිහට රට තුළ යහපාලනයක් නොමැති වීම සහ පාලනයේ පවතින දුර්වලතා නිසා විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි ගොඩනැඟීමට හේතු වෙලා තිබෙනවා. රටක පාලනය දුර්වල වනවිට ඒ රටේ අපරාධ නීති පද්ධතිය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ කිරීමේ ක්‍රමවල විසංවිධානීත්වයක් ඇතිවෙනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වන ආයතන තුළ දූෂණ ක්‍රියා සිදුවීම, රජය අපරාධ වැළැක්වීම සම්බන්ධව නිවැරැදි තීන්දු තීරණ නොගැනීම සංවිධානාත්මක අපරාධකරුවන්ට අපරාධ සිදු කිරීමට හොඳ තෝතැන්නක් බවට පත්වෙලා තිබෙනවා. මීට අමතරව මත්ද්‍රව්‍ය අලෙවිය හා ප්‍රවාහනය සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ විශාල සම්බන්ධයක් තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පිරිස් සංවිධානාත්මක අපරාධ සිදු කරනවා වගේම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග බවට නීත්‍යනුකූල නොවන මත්ද්‍රව්‍ය වෙළෙඳාම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සංවිධානාත්මක අපරාධකරුවන් නීත්‍යනුකූල නොවන ගිනි අවි භාවිතය, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ධාරිතාව අඩුවීම, සම්පත්වල හිඟතාව, පුහුණුව නොමැති වීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවශ්‍ය මානව ශ්‍රමය නොමැති වීම වගේ දේවල් නිසා සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අපරාධ කිරීමට ඉඩක් ලැබී තිබෙනවා.

බාල වයස්කාරයන් සහ තරුණ පිරිස වැඩි වශයෙන් අපරාධවලට පෙලඹීමක් දක්නට ලැබෙනවා?

බාල වයස්කරුවන් සයිබර් අවකාශය වැරැදි ආකාරයට භාවිත කිරීම මූලික වශයෙන් දකින කරුණක්. නමුත් ළමයින් සයිබර් අවකාශය භාවිත කිරීම නිසා බොහෝ අයහපත් චර්යා සහ පුරුදුවලට ඇබ්බැහි වීමක් දකින්න පුළුවන්. සමහරුන් අන්තර්ජාල ක්‍රීඩා, අසභ්‍ය චිත්‍රපට බැලීමට ඇබ්බැහි වෙලා තිබෙනවා. මේවා ප්‍රායෝගිකව අත්දැකීමට උත්සාහ කිරීම නිසා ළමයින් අපරාධ කිරීමට යොමුවීමත්, ළමයින් අපරාධවලට ගොදුරු වීමටත් හේතු වී තිබෙනවා. නූතන සමාජය තුළ සිදුවන සමාජ වෙනස්වීමත් සමඟ දරුවන්ගේ අපරාධකාරී චර්යා රටාවන් වෙනස් වෙලා තිබෙනවා වගේම බාල අපරාධවල වෙනසක් සිදු වෙලා තිබෙනවා.

අපරාධ වළක්වා ගැනීම සඳහා සමාජ විද්‍යාත්මකව දැනුවත් කිරීම කළ යුතු වන්නේ කෙසේද?

අපරාධ වළක්වා ගැනීම සමාජ විද්‍යාත්මකව කළ යුතු දෙයක්. මේ දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය හොඳම මූලාශ්‍ර විදිහට මම දකිනවා. වර්තමානයේ සමාජයේ පහළම පන්තියේ සිටින කෙනා පවා ජංගම දුරකතන භාවිත කරනවා. ඔවුන් සෑම අවස්ථාවකම අන්තර්ජාලයේ සැරිසනවා. පහළ ශ්‍රේණියේ පහළ කර්මාන්ත සිදු කරන වැඩිහිටියන්ගේ සිට සමාජයේ ඉහළ පන්තියේ රැකියා කරන පුද්ගලයන් දක්වා මේ සමාජ මාධ්‍යයට ඇබ්බැහි වීම දකින්න පුළුවන්. මේ නිසා ඩිජිටල් අවකාශය හරහා දැනුවත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා යූ ටියුබ්, ෆේස් බුක්, ටික් ටොක්, වට්ස්ඇප් උපයෝගි කර ගන්න පුළුවන්. මෙම මාධ්‍ය හරහා අපි ලබාදෙන පණිවිඩය ඉතා ඉක්මණින් ග්‍රාහකයා වෙත ගෙනයාමේ හැකියාව තිබෙනවා. දැනුවත් කිරීම සඳහා පොත්, පත්‍රිකා බෙදුවට දැන් වැඩක් නැහැ. මිනිසුන් ඇත්තටම පෙලඹිලා ඉන්නේ ජංගම දුරකතනය හරහා තොරතුරු දැන ගැනීමටයි.

මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ සඳහා ඍජු බලපෑමක් එල්ල කර ඇතැයි ඔබ සිතනවාද?

පැහැදිලිවම මත්ද්‍රව්‍ය සමඟ අපරාධ බැඳිලා තියෙනවා. මත්ද්‍රව්‍ය සමඟ ඉතා ළඟින්ම බැඳී තිබෙන අපරාධ තමයි ලිංගික අපරාධ නැත්නම් කාම අපරාධ. බොහෝ ස්ත්‍රී දූෂණ සිදු වන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කළ පුද්ගලයන් අතින්. ඒ වගේම ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවන් තමන්ට ආදායමක් උපයා ගන්න මත්ද්‍රව්‍ය වෙළෙඳාම යොදා ගන්නවා. මේක අපි හැමෝම දන්න සමාජ සංසිද්ධියක්. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතය කාන්තාවන්ට සිදුවන අපරාධ වැඩි වීමට ප්‍රධාන හේතුවක්. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය නිසා නිවාස මංකොල්ලකෑම් වගේ අපරාධවල වර්ධනයක් දක්නට ලැබෙනවා. වර්තමානයේ එක් පොලිස් බල ප්‍රදේශයක මසකට නිවාස බිඳීම් 50, 60ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ පුද්ගලයන් මත්ද්‍රව්‍ය ගැනීමට සල්ලි නැති නිසා ගෙවල් බිඳීම් සිදු කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ගැනීමට සල්ලි නැති නිසා ලිංගික වෘත්තීන්වල නිරත වෙනවා. තමන්ගේ භාර්යාව ලිංගික වෘත්තියේ යොදවලා මත්ද්‍රව්‍ය ගන්න ස්වාමිපුරුෂයන් සිටිනවා. මේ වගේ සමාජ විසංවාදිත්වයට මත්ද්‍රව්‍ය විශාල හානියක් සිදු කරනවා. මත්ද්‍රව්‍ය විකිණීම, බෙදා හැරීම සහ සන්තකයේ තබා ගැනීම සමඟ බැඳුණු බරපතළ අපරාධ සමාජය තුළ අපට දකින්න පුළුවන්.

එසේ නම් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කර ගැනීම අපරාධ වළක්වා ගැනීම සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් නේද?

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීමේදී අද වනවිට ශ්‍රී ලංකා පොලිසිය ගෙන යන ‘යුක්තිය’ මෙහෙයුම ඇත්තටම අගය කරන්න ඕන. නමුත් ඒවායේ අඩුපාඩු ද අපට දකින්න ලැබෙනවා. මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට වැරැදිකරුවන් වූ පුද්ගලයන් බන්ධනාගාරයේ පුනරුත්ථාපනය වෙනවා. එලෙස පුනරුත්ථාපනය කරන පුද්ගලයන් නිසි ආකාරයෙන් පුනරුත්ථාපනය වුණා නම් ඔවුන් නැවත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන්නේ නැහැ. නමුත් බොහෝ අවස්ථාවල අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් නැවත නැවත බන්ධනාගාරගත වීම සිදු වෙනවා. මත්ද්‍රව්‍ය වගේ ගැටලු‍වකදී අපිට වඩා රජය, අපරාධ යුක්ති පද්ධතිය, ඒ ආශ්‍රිත නීති සම්පාදනය කරන ආයතන, පාර්ලිමේන්තුව වැනි සියලු‍ දෙනාගේම ශක්තිමත් තීරණයකින් මේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සම්බන්ධව පොලිසියට විශාල වගකීමක් වෙනවා. නිවාරණය, පුනරුත්ථාපනය බන්ධනාගාරගත කිරීම රජය සතු වගකීමක්.

අපරාධ වර්ධනය වීම නිසා සමාජ ආරක්ෂාව පිළිබඳ දැඩි අර්බුදයක් පවතිනවා ඒ පිළිබඳව ඔබේ අදහස?

අපරාධ වර්ධනයත් සමඟ සමාජ භීතිය කියන කාරණය සමාජයේ තිබෙනවා. ඒ වගේම අපරාධ භීතිය වර්තමානයේ විශාල ගැටලු‍වක් බවට පත්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා අපරාධ හැම තැනම සිදු වෙනවා. කාම අපරාධ සිද්ධ වෙනවා, ළමා අපයෝජන හැමතැනම සිදු වෙනවා. අපරාධ නිසා අපි විශාල පිරිවැයක් දරනවා. අපි පෞද්ගලික පිරිවැයක් (Individual Cost) එකක් දරනවා වගේම සමාජ පිරිවැයක් (social cost) මේ නිසා අපරාධ නිසා ලොකු වියදම් ටිකක් දරන්න වෙනවා. අපරාධ භීතිය කියන කාරණය මේ පිරිවැය ඇතුළේ තිබෙනවා. අපරාධ භීතියෙන් තොර සමාජයක් බිහි කිරීමට හැමෝම මහන්සි වෙන්න ඕනේ.

නීතිය ක්‍රියාත්මකවන ආකාරය සෑහීමකට පත්විය හැකි ද? නීතිය මඟින් පමණක් වළක්වා ගැනීමට පුළුවන් ද?

අපරාධ වළක්වා ගන්න නීතියෙන් විතරක් කරන්න බැහැ. මේක පොලිසියට විතරක් කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට වඩා පුද්ගලයන් විදිහට නීති රීති ආරක්ෂා කිරීමට වගකීමක් තිබෙනවා. අපි ආයතනයක් නම් අපේ ආයතනයේ ආරක්ෂාව අපි විසින්ම සපයා ගන්න ඕනේ. ගෙදරක් නම් ගෙදර ආරක්ෂාව ගෙදර අය විසින්ම සපයා ගන්නවා. ඒක ඇත්තටම හොඳ කාරණයක්. ප්‍රජාව විදිහට අපරාධ පාලනයට හා වැළැක්වීමට සාමූහික යන්ත්‍රණයක් සකස් කරගත යුතුයි. රජය විදිහට පොලිසිය, අධිකරණය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ආයතන මේ පිළිබඳව වැඩි අවධානය ලබාදිය යුතුයි. පුද්ගලයා සහ ප්‍රජාව මේ කාරණයේදී තමන්ගේ වගකීම ඉටු කරනවා නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයට පැවරෙන වගකීම ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමේ හැකියාව තිබෙනවා. තමන් නීතියට ඇප කැප වෙලා, නීතියට ගරු කරලා කටයුතු කරනවා නම් කිසිම ආපදාවකින් තොරව යහපත් ආරක්ෂිත සමාජයක් පවත්වා ගන්න පුළුවන්.

මෙම අපරාධ වළක්වා ගන්න පුළුවන් සාර්ථක ක්‍රමවේද මොනවාද?

පුද්ගලයෙක් විදිහට සමාජයට අපෙන් විය යුතු දේවල් ටික පෙළගස්වා ගන්න ඕනේ. අපේ ගෙදර, අපේ වීදිය, අපේ ගම, අපේ රට විදිහට පියවරෙන් පියවර ගියොත් මේක පාලනය කරගන්න පුළුවන්. වර්තමානයේ පොලිසිය විසින් සිදු කරන යුක්තිය මෙහෙයුම මඟින් විශාල සේවයක් වෙනවා. නමුත් ඒ සඳහා ජනතා සහයෝගය තවත් ලැබෙන්න ඕනේ. සමාජයේ සෑම සාමාජිකයෙකුම තමන් අපරාධයකින් නිවාරණය වන්න උත්සාහ කරනවා නම් සමස්ත සමාජයේම අපරාධ නිවාරණය හා වළක්වා ගැනීම සමාන්‍ය දෙයක් වෙනවා. රජයක් විදිහට රජය වෙනුවෙන් පෙනී සිටින්නේ පොලිසිය, අපරාධ නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ පොලිසිය. බොහොමයක් ප්‍රජාව අතරට පොලිසිය ගිහින් තිබෙනවා. ප්‍රජා පොලිස් සේවාව තවත් කාර්යක්ෂම වුණා නම් හොඳයි. අපරාධ නිවාරණයට පොලිසිය පුහුණු කිරීම වැනි කරුණු සිදු කිරීම හරහා මේවා වළක්වා ගන්න පුළුවන්.

මෙම අපරාධ වළක්වා ගැනීමේදී සමාජ මාධ්‍ය, මාධ්‍ය, ආගම සතු කාර්යභාරය කෙබඳු ද?

සමාජ මාධ්‍ය සතු කාර්යභාරය තමයි ඉතාමත් වැදගත්. සමාජය තුළ අපරාධ වර්ධනය කිරීමට සහ අවම කිරීමට සමාජ මාධ්‍ය බලපානවා. නමුත් අද සමාජයේ ආක්‍රමණශීලී, ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට පෙලඹවීම සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනීමක් දැකගන්න පුළුවන්. සමාජ මාධ්‍ය භාවිත කරන සුළු පිරිසක් එවැනි ක්‍රියාවල නිරත වෙනවා. සමාජ මාධ්‍ය ඉතා සක්‍රිය ආකාරයට අපරාධ නිවාරණය හා වළක්වා ගැනීමට අපිට උපයෝගි කර ගන්න පුළුවන්. සමාජ මාධ්‍යයට සමාජයේ වෙනස් කරන්න බැරි ක්ෂේත්‍ර නැහැ. සමාජ මාධ්‍යයේ කාර්යභාරය පෙරට වඩා වෙනස් වෙලා තිබෙනවා. ප්‍රචණ්ඩත්වයෙන්, හිංසනයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීමට සමාජ මාධ්‍ය සහ මාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා. සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ඇත්තටම හොඳ පැත්තට යොදා ගන්න පුළුවන්. සුරක්ෂිත සමාජයක් බිහි කිරීමටද සමාජ මාධ්‍යයට සහ මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. ඒ වගේම අපරාධ වළක්වා ගැනීම සියලු‍ම ආගම්වලට පැවරුණු වගකීමක් වෙනවා. දහම් පාසල, පල්ලිය, කෝවිල, ඉස්ලාම් පල්ලිය වෙන්න පුළුවන් මේ හැම තැනකින්ම අපරාධ නිවාරණයට වගකීමක් තිබෙනවා. මෙකී ආයතන ප්‍රජා පොලිස් ඒකකය සමඟ එක්ව අපරාධ වළක්වන්න අවශ්‍ය කටයුතු කිරීම කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *