IMF ගිවිසුම ක්‍රියාවට නංවන හැටි සාකච්ඡා කිරීමට එක්වන්න -ජනපතිගෙන් පක්ෂ නායකයන්ට ආරාධනා

රාජ්‍ය ආදායමට සුවිශේෂ අපනයන දායකත්වයක් දුන් සමාගම් අගයයි

පැරණි ආර්ථික ක්‍රමය අනුව තවදුරටත් රට ඉදිරියට ගෙන යන්න බෑ

රට මේ තැනට වැටුණේ දේශපාලනය හින්දයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සියලු දෙනා එක්ව පොදු එකඟතාවකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බව ද කියා සිටියේය.

පොරොන්දු දේශපාලනයෙන් සිදු වූයේ රටේ ආර්ථිකය විනාශ වීම බවත්, මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැඟිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සියලු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ රේගු මූලස්ථානයේ දී ඊයේ (26) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමිනි.

2023 වසරේ ලද තීරු බදු ආදායම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවේ සියලු සාමාජිකයන්ට ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය. රේගු බදු, වැට් බදු සහ ආදායම් බදු ලෝකයේ සෑම රටකම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර තුන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට රේගු සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

ඉදිරියේ දී රජය හඳුන්වා දෙන නව නීති මෙන්ම නවීකරණ වැඩසටහන හරහා රාජ්‍ය ආදායම් උපයා දෙන සියලු දෙපාර්තමේන්තු පරිවර්තනයකට ලක්වනු ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. විශිෂ්ට සේවාවක් ඉටු කළ රේගු නිලධාරීන් අගයමින් සහතික පත්‍ර පිරිනැමීම සහ මෙරට රාජ්‍ය ආදායමට සුවිශේෂි අපනයන දායකත්වයක් දුන් සමාගම් ඇගැයීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.‍ රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

රේගු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය සතු පැරණිතම දෙපාර්තමේන්තුවක් ලෙස සැලකෙනවා. මීට වසර 2000කට පමණ පෙර, පැරණි මාන්තෙයි වරායේ රේගු බදු එකතු කළ බවට වාර්තා සහ සාක්ෂි තිබෙනවා. එදා සිට අනුරාධපුර යුගයේදී, කෝට්ටේ යුගයේදී මෙන්ම මහනුවර යුගයේ සිට අද දක්වාම මේ රටේ පැවැත්මට රේගු ආදායම විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. 2022 වසරේ දී අප මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවට මම පළමුව ස්තූතිවන්ත වෙනවා. රේගු බදු, වැට් බදු සහ ආදායම් බදු ලෝකයේ සෑම රටකම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර තුන වෙනවා. අද ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්, කලාපීය වෙළෙඳ ගිවිසුම්, නිදහස් වෙළෙඳ ගිවිසුම් කියන මේ සියල්ල සමඟ රජයේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේද කියා අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා වර්තමාන රේගු සේවාව වඩාත් කාර්යක්ෂම විය යුතුයි.

අපට ඔබගේ දෙපාර්තමේන්තුවට අමතර කාර්ය මණ්ඩලයක් ලබා දීමට නොහැකි වුවත්, ආදායම කොපමණ වැඩි දියුණු කරගත හැකිද කියා ඔබගේ කාර්ය සාධනයෙන් පෙන්නුම් කර තිබෙනවා. මෙහිදී අප තව බොහෝ දුර යා යුතු අතර ළඟදීම ගෙන ඒමට නියමිත නව නීති ද ඇතුළුව රේගු සහ අනෙකුත් ආදායම් දෙපාර්තමේන්තු සම්පූර්ණයෙන් නවීකරණය කිරීමට රජය කැපවී සිටිනවා. මෙය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ගන්නා ක්‍රියාමාර්ගවල කොටසක් බව කිව යුතුයි.

2023 වසරේ අප ගත් තීන්දු තීරණ නිසා 2022 වසරේ සිදු වූ ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒමට මාර්ගය සැකසී තිබෙනවා. නමුත් තවම එය අවසන් වී නැහැ. මේ වසර අවසන් වන විට රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් බවට පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. 2026 වන විට එය 15%ක් බවට පත් කරගත යුතුයි. එසේ නම් අප දැනට තිබෙන ආර්ථිකයෙන් ආදායම් උපයා ගත යුතුයි. ආදායම් ඉහළ නංවා ගැනීමට නම් ආර්ථිකයක් නිර්මාණය කරගත යුතුයි. මේ ආර්ථික දියුණුව උදා කරගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නය අද අප හමුවේ තිබෙනවා.

පැරණි ආර්ථික ක්‍රමය අනුව තවදුරටත් රට ඉදිරියට ගෙන යන්න බැහැ. හැමදාම ණය ගැනීමෙන් සිදු වුණේ රටේ ආර්ථිකය කඩා වැටීමයි. මේ ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතුයි.

අප තවම සිටින්නේ අසීරු කාලයක. 2021 වසරේදී අපට අත්‍යවශ්‍ය භාණ්ඩ තිබුණේ නැහැ. අපට බෙහෙත්, පොහොර, ඉන්ධන තිබුණේ නැහැ. නමුත් අද ඒවා තිබෙනවා. ඒවාට යම් කිසි මුදලක් ගෙවිය යුතුයි. තවම සියලු දෙනාට ජීවන බර දැනෙනවා. ආර්ථිකය දියුණුවීමත් සමඟ තමයි මේ ප්‍රශ්න අඩු වෙන්නේ. 2022 වූ ආර්ථික හානිය එක පෑන් ඉරකින් ඉවත් කර දමන්න පුළුවන් නම් මම කැමතියි. නමුත් එය කළ නොහැකියි. එසේ නම් අප අලුත් ආර්ථිකයකට යා යුතුයි.

එහිදී තරගකාරී වෙළෙඳ පොළක් සමඟ අපනයන ඉහළ නංවාගෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුයි. පෙබරවාරි 03 වැනිදා අප තායිලන්තය සමඟ ගිවිසුමක් අත්සන් තබනවා. තායිලන්තය අපේ රට වගේම ථෙරවාදී බෞද්ධ රටක්. නමුත් ඔවුන් ගියේ එක මාර්ගයක. අප ගියේ තවත් මාර්ගයක. එහි වෙනස තමයි අද දක්නට ලැබෙන්නේ.

අප ගනු ලබන පියවර සමඟ අනාගතයේ මේ රටේ ඇතිවන ආර්ථිකය කුමක්ද යන්න සිතා බැලිය යුතුයි. ඒ පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි. දේශපාලන පක්ෂ ඒ සම්බන්ධව කතා කළ යුතුයි. මැතිවරණයකට යනවා නම් කොහොමද මේ රටේ ප්‍රශ්න විසඳන්නේ කියා ඔවුන් දැන ගත යුතුයි. හඳෙන් හාල් ගේනවා වැනි ක්‍රමයට එය කළ නොහැකියි. රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එකඟ ද, එය වෙනස් කරනවාද කියා සාකච්ඡා කළ යුතුයි.

අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා. ඒ ගිවිසුම රටවල් 15 – 20ක් සමඟ මෙන්ම තවත් රටවල් ගණනාවක් සමඟ අත්සන් කරන්න තිබෙනවා. අපට එතැනින් ඈත් වෙලා යන්න බැහැ. අප කොහොමද මේක පිළිගන්නේ. මේ පිළිබඳ අද අප සියලුදෙනා එක්ව සාකච්ඡා කළ යුතුයි. නමුත් එය සිදු වන්නේ නැහැ. තවමත් අපේ දේශපාලනය පපඩම් වගේ. තාච්චියට දානවා, පිපුණු විට අරගෙන කනවා. ඊළඟ දවසේ තව එකක් දානවා. පසුව අමතක වෙලා යනවා.

අප සමාජ මාධ්‍ය පිළිබඳ කෙටුම්පත ගෙන ආ අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඝෝෂා කළා. මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නවත්වනවා කියා ඝෝෂා කළා. නමුත් එය සම්මත වුණා. දැන් ඒක අමතකයි. ඒ වගේම දැන් ත්‍රස්ත විරෝධී පනත ගෙන ඒමට සූදානම් වී සිටිනවා. එවිටත් මේ රටේ අයිතිවාසිකම් නැහැ. ඔක්කොම හිරේ දාන්න යනවා කියා ඝෝෂා කරයි. ඊට පස්සේ ඒකත් අමතකයි. ඒ වගේම ටීආර්සි පනත ගෙන එන විට නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියා ඝෝෂා කරයි. ඊට පස්සේ එයත් අමතක වෙනවා. මේක පපඩම වගේ උඩට ඇවිත් යට යනවා විතරයි. මේ දේශපාලනය මට අවසන් කරන්න බැහැ. නමුත් අපේ රට මේ තත්ත්වයට පත් වුණේ මේ නිසා බව අමතක නොකළ යුතුයි.

මේ තත්ත්වයෙන් ඈත් වී ඉදිරියට යෑමට අපට ශක්තියක් තිබිය යුතුයි. එය ඔබේ අනාගතය පමණක් නොවෙයි, ඔබේ දරුවන්ගේද අනාගතයයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එකඟද, නැද්ද, ඊට සංශෝධන අවශ්‍යද කියා අප සියලු දෙනා එක්වෙලා සාකච්ඡා කරමු කියා මා පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරනවා.

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරන්න මම සූදානම්. අප සියලු දෙනා එකට වාඩි වී එතුමිය සමඟ සාකච්ඡා කරමු. වෙනස් අදහස් තිබෙනවා නම් කොහොමද ඒක කරන්නේ කියා කියන්න.

එම සංශෝධන හොඳනම් මමත් එය පිළිගන්නවා. ඒ වගේම දැන් ගිවිසුමක් තිබෙනවා. අප ඒ අනුව කටයුතු කළ යුතු බවත් සිහි තබා ගත යුතුයි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්. ඩී. පෙරේරා, සහකාර රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහත්වරුන්, රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *