ජනපතිගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විශ්වාසය ඇතිවෙලා

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරයේ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකි වී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මූල්‍ය, නීති හා පාලන අංශවල ප්‍රතිසංස්කරණ කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා නව ආර්ථික දැක්මකින් යුතුව ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මේ අදහස් පළ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරේදා (23) පැවති “2024 අය වැය”සම්මන්ත්‍රණයට එක්වෙමිනි. මේ සම්මන්ත්‍රණය ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය විසින් සංවිධාන කර තිබිණි.

ශ්‍රී ලංකාව බලශක්ති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් සාගල රත්නායක මහතා මෙසේ ද පැවසීය.

ජනපති රට භාර ගන්නා අවස්ථාවේ රටේ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වගේම පැය ගණන් විදුලි කප්පාදුවක් ද තිබුණා. එවකට ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය ආදායම බිඳවැටීම, වැරදි කෘෂි ප්‍රතිපත්තිය, බදු ගොනු අවම කිරීම වැනි සාධක ආර්ථික අර්බුදයට බලපෑවා. කොවිඩ් වසංගතය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම නිසා ලැබුණු විදේශ විනිමයත් අහිමි වුණා.

ඉන් පසුව පැවති අරගලය නිසා ද ආර්ථික බිඳවැටීම උච්චතම අවස්ථාවට පැමිණියා. මේ නිසා ජීවන වියදම ඉහළ ගියා. ජනතාවට රැකියා අවස්ථා අහිමි වුණා. වත්මන් ජනපතිවරයා රට භාර ගත්තේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවකයි.

එතුමා කෘෂි ප්‍රතිපත්තිය වෙනස් කර සහල් නිෂ්පාදනය වැඩි කළා. එමඟින් ආහාර හිඟය අවම කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේ නව වැඩපිළිවෙළට එකඟ වුණා. ඒ අනුව මූල්‍ය ප්‍රතිසංස්කරණ, නීති ප්‍රතිසංස්කරණ හා පාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට කටයුතු කළා. ඒ මඟින් රටේ ආර්ථිකය වේගයෙන් ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළකට රජය අවතීර්ණ වුණා. නව බදු පැනවීම නිසා ජනතාවට යම් පීඩනයක් ඇති වී තිබෙන බව පිළිගත යුතුයි. නමුත් එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇතිව තිබෙනවා. මීට අමතරව සංචාරක කර්මාන්තය ගොඩනැඟීම සඳහා නව ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනැවිත් තිබෙනවා. මේ ආර්ථික වැඩසටහනින් ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති කිරීමට හැකියාව ලැබුණා. 2022දී ඩොලර් බිලියන 2.1ක්ව තිබුණු විදේශ සංචිත ප්‍රමාණය අද වන විට ඩොලර් බිලියන 4.5 දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබෙනවා.

2022 දී 77%ක් වූ උද්ධමනය අද වන විට 4%ක් දක්වා අඩු කර ගැනීමට රජය සමත් වී තිබෙනවා. රාජ්‍යයක් පවත්වාගෙන යෑමට නම් එහි රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 16% ක් පමණ තිබිය යුතුයි. 2023 වසරේ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා දළ දේශීය නිෂ්පාදනයෙන් 11%ක පමණ රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට හැකි වුණා.

රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීමෙන් ආර්ථිකය ස්ථායිකරණය කිරීමට හැකියාව තිබෙනවා. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල බදු ආදායම් ජාලයක් සකස් කිරීම මඟින් රාජ්‍ය ආදායම ක්‍රමවත්ව වර්ධනය කළ හැකියි. ඒ සඳහා සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙනවා. මේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරි වසරක කාලය ක්‍රියාත්මක කළහොත් සමස්ත ජනතාවට සහන දිය හැකියි. මේ පවතින තත්ත්වය යටතේ ද 2024 අය වැය ලේඛනයේ සංවර්ධනාත්මක යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ගොවි ජනතාවට ඉඩම් සින්නක්කරව ලබා දීම මෙන්ම නාගරික ජනතාවට නිවාස අයිතිය ලබා දීමට ද යෝජනා කර තිබෙනවා. අස්වැසුමට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය නවීකරණයට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය ගිගාවොට් 80ක් නිපදවිය හැකි බවට ගණන් බලා තිබෙනවා. 2050 වන විටත් ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ ගිගාවොට් 15ක් පමණයි. ඒ නිසා පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කර, ශ්‍රී ලංකාව බලශක්ති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් කිරීමටත් සැලසුම් සකස් කර තිබෙනවා. ග්‍රීන් හයිඩ්‍රිජන් නිෂ්පාදනය කර ජාතික ආර්ථිකයට ආදායම් උත්පාදනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. මේ සියලු කාරණා හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ආර්ථික වශයෙන් ශක්තිමත්ව ඔසවා තැබීමට හැකියාව තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් රොෂාන් ගුණතිලක මහතා-

රටක අය වැයක් ඉදිරිපත් කරන්නේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටයි. ජාතික අවශ්‍යතා කීපයක් මුල් කරගෙන මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙනවා. එම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාව නැඟී සිටින රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා. මේ අය වැය ක්‍රියාත්මක කිරීමේදී ජනතාවට සම්පූර්ණ සහන ලැබෙන අයුරින් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් වගබලා ගත යුතුයි. අය වැය යෝජනා සඳහා අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ පරිණතභාවය සහ අත්දැකීම් ජනතාව වෙනුවෙන් භාවිත කළ යුතුයි.

ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා-

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට 2022 වසරේ මාර්තු මාසයේ දී මුහුණ දුන්නා. ජනතාවගේ ජීවිත අවදානම තමන්ගේ නිවසටම ළඟා වෙමින් තිබුණා. එවැනි දරුණු ආර්ථික අර්බුදයක් මීට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ බවට තොරතුරු වාර්තා වී නැහැ. 2022දී ඒ වන විටත් ලබාගෙන තිබූ විදෙස් ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කළා. එවැනි අවස්ථාවකදී අප සමඟ ගනුදෙනු කිරීමට කිසිම රටක් සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා ගෑස්, ඉන්ධන හිඟය ආරම්භ වුණා. දරුණු ආර්ථික අර්බුදයකට රට ඇදවැටුණා.

ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා-

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අය වැය ඉදිරිපත් කළා. 2024 අය වැය යනු මේ වසරට අදාළ ආර්ථික ලියවිල්ලයි. ඉතාමත්ම අසීරු අවස්ථාවක වුවත් මේ ඉදිරිපත් කළ සාධනීය ළ යෝජනා මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද මහතා-

වැට් බදු නිසි ලෙස රජයට එකතු නොවන බව නිරීක්ෂණය වී තිබෙනවා. සාමාන්‍යයෙන් එකතු කළ අගය මත බද්ද නිසි පරිදි එකතු වෙනවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක ප්‍රතිශතයක් එමඟින් ආර්ථිකයට එකතු කිරීමට හැකි වෙනවා. නමුත් මේ වන විට එම බද්දෙන් ආර්ථිකයට එකතු වන්නේ 2%ක ප්‍රතිශතයක් පමණයි. ඒ පිළිබඳ සොයා බැලීමේදී ප්‍රධාන බදු කාන්දු තුනක් සොයාගෙන තිබෙනවා. එයින් පළමු කාන්දුව ව්‍යාපාරිකයන් බදු අය කරන නමුත් එය රජයට ලබා නොදීමයි. දෙවැනි බදු කාන්දුව නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා අහිමි වන බදු ප්‍රමාණයයි. බදු නිදහස් කිරීම් මඟින් තෙවැනි බදු කාන්දුව වෙනවා. මේ බදු කාන්දු වීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. එසේ වුවහොත් ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකි වෙනවා.

මහ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සී. සේනාරත්න මහතා ද බස්නාහිර පළාත් ලේකම් ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීහු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *