ප්‍රදීපාගේ ‘සුපෙම් හැඟුම්’ විඳින්න ඉරිදාට එන්න…

රටක් සනහාලු එසේම සියලු දෙනාගේම ජනාදරයට පාත්‍ර වූ ප්‍රවිණ ගායන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස මහත්මිය කලා ක්ෂේත්‍රයට පැමිණ වසර 40ක් ගතවීම පාදක කර ගනිමින් ඇයගේ නවතම ගී ප්‍රසංගය ‘සුපෙම් හැඟුම්’හෙට(21) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි සවස 06.30 පැවැත්වේ.

උපතින්ම කලා හැකියාවන්ගෙන් පොහොසත් කලාකාරිනියක වන ඇය තරුණ වියේදීම චිත්‍රසේන සහ වජිරා යුවළගෙන් නර්තනය හැදෑරූ අතර නුගේගොඩ කලා භූමියෙන් සංගීතය උගත්තාය. සෝමලතා සුබසිංහයන්ගේ ශ්‍රී ලංකා යොවුන් රඟහල පදනමේ නාට්‍ය පාඨමාලාවක් හැදෑරු ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි.

ඉන්දියාවේ ලක්නව්හි භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයේ සංගීත විශාරද විභාගය විශිෂ්ට ලෙස සමත් සංගීත විශාරදවරියක වන හේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාධාරිනියක්ද වේ. ඇමරිකාවේ කර්ක්වුඩ් අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරිනියකි. දැනුම සොයායෑමේ නිරන්තර පිපාසයෙන් පෙළෙන්නියකි. ඇය පවසන්නේ කලාකාරිනියකට එය අත්‍යවශ්‍ය වන බවයි.

මිට වසර ගණනාවකට පෙර දූවිල්ලෙන් සැදුණු ලියේට පසු නැවත වසර12කට පෙර ‘හැන්දෑවට කලින් එන්න’ ප්‍රසංගයෙන් 12වසරක් ගතවන විට පැවැත්වෙන ‘සුපෙම් හැඟුම්’ ප්‍රසංගය ඇයගේ නවතම ගීත සමුච්චියකින් සමන්විතය. එකල මෙකල ගුවන්තලය පුරා දස දෙස සිසාරා ඇසුණු ගී කොතැන කොයි මොහොතක කෙසේ ඇසුණද හඳුනාගත හැකි හඬක් වේ නම් ඒ ඇයගේ කටහඬයි. මධුර මනෝහර හඬින් ඇය ගයන්නේ භාවමය සංගීතයෙන් රසගැන්වූ අරුත්බර පද මාලාය. ප්‍රේමය ගැන ළයාන්විතව ගයමින් හදවත් නළවන ඇයම විටෙක ජීවිතයේ කටුක යථාර්ථයන්, සමාජ හිංසනය,කෲරත්වය,තලා පෙළා පාගා දමන විෂමාචාර කාලවකවානු ගැන නොබියව ඇය ගයන්නීය. එනිසාම විශාරද එඩ්වඩ් ජයකොඩි, රූකාන්ත ගුණතිලක සමඟ තරුණ පරපුරේ සංගීත අධ්‍යක්ෂවරයකු සහ ගායකයකු වන කසුන් කල්හාර සහ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තුළින් රසික හදවත් හඳුනාගත් රවීන් කනිෂ්ක ගායනයෙන් සහාය වෙති.

ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කරන සුපෙම් හැඟුම් ප්‍රසංගයේ පුරක ආමන්ත්‍රණය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසිනි. ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහයන්ගේ නර්තන වින්‍යාසයෙන් සහ රන්වල පදනමේ පොඩ්ඩන් ඉදිරිපත් කරන විශේෂ වේදිකා රංගනයන් තුළින් ප්‍රදීපාගේ සුපෙම් හැඟුම් ආනන්දනීය සන්ධ්‍යාව තවත් විචිත්‍රවත් කරයි.

දොළොස් වසරක නිහැඬියාව බිඳීන ඇය සුපෙම් හැඟුම්වලින් හදවත පුරවාගෙන මෙම ප්‍රසංගය පිළිබඳ ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන අතර මේ ප්‍රදීපා ධර්මදාස මහත්මිය ඒ් පිළිබඳ අපට පැවසූ දෙයයි.

ඔබ මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න අදහස් කළේ ඇයි?

මට මේ ප්‍රසංගය විශේෂිත ප්‍රසංගයක්. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් මේ වන විට අවුරුදු 40ක් වෙනවා. ඒ වගේම මේ ප්‍රසංගය මම පාදක කර ගත්තේ ජනවාරි 26 වෙනිදාට යෙදී තියෙන මගේ උපන්දිනයත් නිසායි. එදාටම මේ ප්‍රසංගය ගන්න හිතුවාට, නෙළුම් පොකුණ රඟහල 26දාට වෙන් වෙලා ඉවරයි. ඒ නිසා 21 වැනිදාට ප්‍රසංගය සූදානම් කළා. මේ ප්‍රසංගය පුරාම තියෙන්නේ එදා රසිකයන් විඳපු ගීත. නව නිර්මාණ ගීතත් ඒ අතරට එනවා. මෑත යුගයේ ජනප්‍රියත්වයට පත්වුණු, මිනිසුන් හැමදාමත් ප්‍රිය කරන ගීත 23ක් මේ ප්‍රසංගයේදී මම ගායනා කරනවා. ඒ නිසා මගේ පරණ සහ නව ගීත අහන්න 21 වැනිදාට මට ආදරේ කරන සියලුම දෙනාට 6.30ට නෙළුම් පොකුණ රඟහලට එන්න කියලා මම කියනවා. ප්‍රසංගය නැරඹීමට කැමති ඕනෑම කෙනෙකුට mytickets.lk හරහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවස්ථාව තියෙනවා.

ගායන ලොවට පිවිසීමට ඔබට දොරගුළු විවර වෙන සන්ධිස්ථානය මොකක්ද?

ප්‍රදීපා ධර්මදාස නම් ශිල්පිනියට ගීත ගායනා කරන්නට පුළුවන් කියලා මිනිසුන් තේරුම් ගත්තේ වෙද හාමිනේ ටෙලිනාට්‍යයෙන්. වෙද හාමිනේ නම් නවක නිළියට නැත්නම්, රෙබෙකා නිළියට ජයන්ත චන්ද්‍රසිරි අලුත් හඬක් සොයමින් ඉන්න විට තමයි, කේමදාස මාස්ටර් මට ඒ අවස්ථාව සලසලා දුන්නේ. “දූවිල්ලෙන් සැදුණු ලියේ ” ප්‍රසංගය පැවැත්වූවා. එහිදී මාව රූපයෙන්වත් දැකලා නොතිබුණු මිනිස්සු මාව වැලඳ ගත්තේ ඒ ගීතයෙන්. 1993 ලක්ෂ්මන් විජේසේකරත්, මමත් “දූවිල්ලෙන් සැදුණු ලියේ “ගීත දොළහක් ඇතුළත් මුල්ම කැසට් පටය කළා. 1997 “සාවිත්‍රීගේ රාත්‍රිය චිත්‍රපටයේ ” තනි වූවා යැයි ගීතය වෙනුවෙන් මට සරසවි සම්මානය හිමි වුණා. සරසවිය සහ ජනාධිපති සම්මාන යන සම්මාන දෙකම මම ඒ අවුරුද්දේ ලැබුවා. චිත්‍රපටිවල පසුබිම් ගායනයට මට අවස්ථාව ලැබෙන්නේ සරත් වික්‍රමයන් නිසා. ඔහු ඒ කාලේ චිත්‍රපටි පසුබිම් සංගීතය සැපයු අධ්‍යක්ෂවරයෙක්. නිදි යහන කැලඹුණි, තහනම් ගහ, අරගලය, සාවිත්‍රීගේ රාත්‍රිය ඇතුළු සිනමාපට සමූහයකට ගායනයෙන් මම එකතු වුණා.

ඔබේ ඉදිරි කලා කටයුතු මොනවාද?

මේ වසර හතළියක් තුළ ගත වූ කාලය ගැන මට හිතුණු එක දෙයක් තමයි, මම ගොඩක් නිහඬ වෙලා හිටියා වැඩියි කියලා. අද ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටින යුගයක් වෙලා තියෙනවානේ. ඒත්, මම සමාජ මාධ්‍ය ඔස්සේ නිතර පෙනී සිටින කෙනෙක් නෙවෙයි. මේ ප්‍රසංගයෙන් පස්සේ මම හිතනවා, සුපෙම් හැඟුම් එක්ක රට වටාමත්, විදෙස් රටවලත් පවත්වන්න. නිර්මාණකරණයට පද රචකයන් මට හොඳ ගීත, තනු දුන්නේ නැත්නම් මේ නිර්මාණ අදටත් පවතින්නේ නෑ කියන එක මම කියන්න කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *