ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර නැතිව දුම්රිය සේවය ගොඩනඟන්න බෑ

රත්මලාන ජර්මානු දුම්රිය තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ දුම්රිය සමායවික (simulator) ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් අරඹමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරවලින් තොරව දුම්රිය සේවය ගොඩනැගීම කළ නොහැකි බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක දුම්රිය කාර්යක්ෂමතාවය නඟා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන ජර්මානු දුම්රිය තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලබන දුම්රිය සමායවික (simulator) ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

සමස්ත ආයෝජනය රු. කෝටි 45ක්‌ වන මෙම ව්‍යාපෘතිය යටතේ, රුපියල් මිලියන 48ක පිරිවැයකින් ඉදි කෙරෙන මෙම ගොඩනැඟිල්ල තුළ සියලු පහසුකම් සහිතව ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම වරට දුම්රිය මාර්ග පථයන් සහ සංඥා පද්ධති ආශ්‍රයෙන් S 14 එන්ජිමක ආකෘතියක් ලෙස මෙම සමායවිකය ස්ථාපනය කෙරෙනු ඇත.

එන්ජින් සමායවික (simulator) පුහුණු කුටියක්, එකවර රියැදුරන් අට දෙනෙකුට සහ පුහුණු උපදේශකවරයෙකු සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළත් වේ.

මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ නව වාහන සේවා මධ්‍යස්ථානය ද ඇමැතිවරයා විවෘත කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

වර්තමානය වන විට අප සිතනවාට වඩා ඉතාමත් වැඩි වේගයකින් තාක්ෂණයේ සහ දැනුමේ දියුණුවක් දක්නට ලැබෙනවා. මෑතකදී නිකුත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවකට අනුව කෘතිම බුද්ධිය හේතු කර ගනිමින් සංවර්ධිත රටවල සේවා නියුක්තියට 60%ක පමණ බලපෑමක් සිදුවන බව වර්තා වී තිබෙනවා.

සංවර්ධනය වන රටවලට එහි බලපෑම 40%ක්‌ රැකියා සම්බන්ධව ඇතිවන බව පෙන්වා දී තිබෙනවා. මේ සියලු තත්ත්වයන් මත අනාගතයට ගැළපෙන ආකාරයේ තාක්ෂණය සහිත පුහුණුවීම තරුණ පරපුර වෙත ලබා නොදීම, අපේ රට ඉතාමත් පසුගාමී තත්ත්වයකට පසු පත්වීමට හේතු වනු ඇති. නිදහසට පෙර යුරෝපීය යටත් විජිතයක් ලෙස පවතින සමයේදී ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් ඉංග්‍රීසි ජාතිකයන් විසින් දුම්රිය සේවය හඳුන්වා දෙනු ලැබුවා. නමුත් මේ වනවිට දුම්රිය සේවය සම්බන්ධයෙන් ඉන්දියාව අපට වඩා ඉතාමත් ඉහළ දියුණුවක් ලබාගෙන තිබෙනවා. තවත් වසර කිහිපයක් ගතවන විට ඉන්දියාවේ සියලු දුම්රිය, විදුලි දුම්රිය බවට පරිවර්තනය වීමට නියමිතයි. ඒ අනුව මෙරට හිටපු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා හරහා මා විසින් ඉන්දියානු රජයෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව පවතින දුම්රිය හිඟයට විසඳුමක් ලෙස දැනට ඉතාමත් හොඳ ධාවන තත්වයේ පවතින දුම්රිය එන්ජින් විස්සක් ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා. අමතර කොටස් ලබා ගැනීම සඳහා තවත් දුම්රියෙන් තුනක් ද ලැබීමට නියමිතයි. ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු නියෝජිත පිරිසක් ඉන්දියාවට යොමු කරනු ලැබුවා. ඒ වෙනුවෙන් සියලු වියදම් ඉන්දියානු රජය දැරූ අතර ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවූයේ ඩොලර් 400ක වියදමක් පමණයි.

නමුත් පසුගිය සති අන්තයේ ජාතික පුවත්පතක මුල් පිටුවේ මේ පිළිබඳ ඉතාමත් සාවද්‍ය ප්‍රවෘත්තියක් පළ කර තිබුණා. රටට යමක් නොමිලේ ලැබීම පිළිබඳවත් ඇතැමුන්ට පවතින්නේ කාලකණ්නි සතුටක්. කෙසේ නමුත් නිදහසින් පසු විදේශීය රටකින් මෙවැනි පරිත්‍යාගයක් හිමි වන ප්‍රථම අවස්ථාව ලෙස ඉදිරි මාස කිහිපය තුළ මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා.

ඉතිහාසය පුරාමත් දේශීය හා විදේශීය වශයෙන් අප විශාල වශයෙන් ණය ලබාගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ද විදේශ ණයක්. ආසියානු සංවර්ධන බැංකුව මගින් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1170ක් ලබාදී තිබෙනවා. නිදහසින් පසු රටේ සියලුම දුම්රිය මාර්ග සංවර්ධනය කර තිබෙන්නේ ඒ ආකාරයෙන් ලබාගත් විදේශ ණය මගින්. ණයවලින් තොරව පවත්වාගෙන ගිය රජයක් ලංකා ඉතිහාසය තුළ නැහැ.

විශාල විදේශ ණය ආධාර ප්‍රමාණයකින් තොරව දුම්රියේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ හැකියාවක් නැහැ. පවතින එක් මාර්ගයක් හෝ විදුලි දුම්රිය මාර්ගයක් බවට පරිවර්තනය කරගැනීමට විශාල උත්සාහයක අප නිරත වනවා. ඒ සඳහා ස්ටේෂන් ප්ලාසා සංකල්පය මෙවර අය වැය යෝජනාවක් ලෙස ඇතුළත් කර තිබෙනවා. ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් මේ වන විටත් එම සංකල්පය තුළින් සුවිශාල ආයෝජන සිදු කරමින් පවතිනවා.

මේ වනවිට රට පත්ව තිබුණු ආර්ථික අර්බුදයෙන් හිස එසවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පැරිස් ආධාර සමුළුව වැනි අන්තර්ජාතික ආයතන සහ මිත්‍ර රටවල් රැසක සහයෝගයෙන් සහ එකඟතාවයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. එම වැඩපිළිවෙළට එහා යමින් කිසිවෙකුටත් ඉදිරියේදී රජයක් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා කවුරුන් විසින් ආණ්ඩු බලය හිමි කරගත්තත් මෙම එකඟතාවයන්ට අනුව සකසාගත් වැඩ පිළිවෙළට අනුව කටයුතු කළ යුතුයි. මේ සියලු සංවිධාන සහ රටවල් සමඟ එකඟ වූ වැඩපිළිවෙළට කිසිවෙකු පයින් ගැසීමට සූදානම් වනවා නම් එම රට සමඟ ආර්ථික සබඳතා පැවැත්වීමට කිසිවෙකු සූදානම් නැහැ. එවන් වූ අනතුරුදායක තත්ත්වයක් මත හිඳිමින් මේ සියලු කටයුතු කිරීමට සිදුව තිබෙනවා.

ඒ අනතුරින් මිදී යහපත් රටක් බිහි කර ගැනීම වෙනුවෙන් සියලු දෙනා එක්ව වැඩි වැඩියෙන් වැඩ කිරීම අත්‍යවශ්‍යයි. එහිදී පවතින මානව සම්පත, පුහුණු මානව සම්පතක් බවට පත්කිරීම කෙටි කාලීන වශයෙන් ඉතාමත් වැදගත්. ඒ පිළිබඳ අනාගතය දකිමින් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයෙහි උසස් පෙළ සඳහා තාක්ෂණවේදී විෂය ධාරාව හඳුන්වාදීමට මා පියවර ගත්තා. එමෙන්ම ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා ලෙස දුම්රිය වෘත්තීය පුහුණු ආයතනය වෙත කිහිප වතාවක් පැමිණෙමින් රුසියාව බෙලරුසියාව සමඟ සාකච්ඡා කර මෙම වෘත්තීය පුහුණු ආයතනය එම රටවල්වල පවතින වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාල හා සමගාමී මට්ටමකට ගෙන ඒම සඳහා අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබනු ලැබුවා. ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව රුසියාවේ පවතින දුම්රිය හා ප්‍රවාහන විශ්වවිද්‍යාලවල සිසුන් වෙත වෘත්තිය අධ්‍යාපනය ලබාදීම සිදුවනවා. තිස් දහසකට අධික දේශීය හා විදේශීය සිසුන් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. එම රටවල දැනුම සහ පලපුරුද්ද ලබා ගනිමින් එම තත්ත්වයට පත්වීමේ හැකියාව අපටද පවතිනවා. අපේ දරුවන්ට ඒ ශක්තිය පවතිනවා. මෙතෙක් කාලයක් බොරු දේශපාලන සටන් පාඨවලට රැවටෙමින් මහ පොළොවේ පවතින යථාර්ථයෙන් ඔබ්බට යෑමේ ඵල විපාක මේ වන විට භුක්ති විඳිමින් සිටිනවා. දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින වසර හැට හැත්තෑවකට වඩා ඉපැරණි දුම්රිය එන්ජින් පවා තවදුරටත් ධාවන තත්ත්වයේ පවත්වාගෙන යෑමට කටයුතු කරන අපගේ දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු තාක්ෂණවේදීන් පිළිබඳව මා සතුටට පත්වනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඉංජිනේරු ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලය, ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපනය හදාරන කාර්මික සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *