නව පර්යන්තයේ මෙහෙයුම් වසර මැදදී අරඹනවා

සංචාරකයින්ට අපේ රටට එන්න කිසිම බාධාවක් නෑ

දැන් ගුවන් සේවා විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනවා

අපේ ගුවන් තොටුපළ දැන් හොඳින් ලාභ ලබනවා

ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායම සඳහා වාර්ෂිකව නාවික සහ ගුවන් ක්ෂේත්‍රයෙන් ලැබෙන්නේ සුවිශේෂී දායකත්වයක්. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව මෙම කර්මාන්තවල කඩා වැටීමක් සිදුව තිබුණ ද අද වන විට යම්කිසි සාධණීය ප්‍රගතියක් ලබාගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වරාය, නාවික සහ ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ පසුගිය වසරේ දී සිදු කර තිබෙන වෙනස්කම්, ලැබී තිබෙන ප්‍රගතිය මෙන්ම ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලසුම් ආදිය සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ කළ සංවාදයකි මේ.

පසුගිය වසරේ දී ගුවන් තොටුපළ සහ ගුවන් ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද ?

කොවිඩ් අර්බුදය සහ අරගලය නිසා රටේ ඇති වූ තත්ත්වය මත සංචාරකයින් මෙරටට පැමිණීම සීමා වුණා. ඒ නිසා අපේ ගුවන් ගමන් ප්‍රමාණයත් අඩු වුණා. ඒ වගේම අපිට ලැබුණු ආදායමත් අඩු වුණා. මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා අපිට විශේෂ කාර්යයන් කිහිපයක් කරන්නට සිදු වුණා. මුල්ම දේ තමයි, රටේ ආරක්ෂාව හා ආර්ථික ස්ථාවරභාවයත් රට කෙරෙහි විශ්වාසයත් තහවුරු කිරීම අත්‍යවශ්‍ය වුණා. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මේ දුෂ්කර කාර්යයභාරය මගේ අතට අරගෙන නිර්භයව මෙයට අත ගැහුවා. ඒ අවස්ථාවේ දී අපිට ගුවන් ගමන්වලට අවශ්‍ය ඉන්ධන තිබුණෙ නැහැ. පෙට්‍රල්, ඩීසල් වගේම ගුවන්යානා ඉන්ධන තිබුණෙ නැහැ. ඒ නිසා ගුවන්යානා සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙන්න මැළිකමක් දැක්වූවා .

ශ්‍රී ලංකන් ගුවන්යානා පවා මදුරාසියට ගිහිල්ලා තමන්ගේ ගුවන්යානා ටැංකිවලට ඉන්ධන පුරවගෙන ඇවිල්ලා තමයි ගුවන් ගමන් ආරම්භ කළේ. මෙවැනි ශෝචනීය කාල පරිච්ඡේදයක් අවසන් කරමින් රටේ දේශපාලන ස්ථාවරභාවයත්, ආර්ථික ස්ථාවරභාවයත් ඇති කිරීමට අප රජය සමත් වුණා. ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ විශාල ප්‍රවර්ධනයක් පසුගිය වසර ඇතුළතදී ඇති වුණා. ඒ නිසා සංචාරකයින් විශාල ප්‍රමාණයක් පෙර වගේම අපේ රටට එන්න පටන් ගත්තා.

ඒ වගේම ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන්යානා ප්‍රමාණය වැඩි වුණා. මේ වන විට ගුවන් සේවා විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනවා. ඒ වගේම තවත් ගුවන් සේවාවන් කිහිපයක් අපේ රටට පැමිණෙන්න කැමැත්ත පළ කර තිබෙනවා.

විශේෂයෙන්ම මත්තල ගුවන් තොටුපළ සඳහා අපිට රුසියානු සංචාරකයින් විශාල ප්‍රමාණයක් ගෙන ඒමටත් ඒ වගේම Charter flights ගෙන ඒමටත් පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා මත්තල ගුවන් තොටුපළින් සිදු වුණ අලාභය අපිට යම් ප්‍රමාණයකින් අඩුකර ගැනීමට පුළුවන් වුණා. නමුත් කටුනායක ගුවන් තොටුපොළින් අපිට රුපියල් බිලියන 26ක පමණ ලාභාංශයක් ලබා ගන්නට පුළුවන් වුණා පමණක් නොවෙයි කටුනායක ගුවන් තොටුපොළ අග්නිදිග ආසියාවේ තාක්ෂණය අතින් විශිෂ්ටතම ගුවන් තොටුපොළක් බවට පත් කළා. මේ සඳහා නවීන සන්නිවේදන උපකරණ, රේඩාර් යානාදිය සඳහා රජයට බරක් වෙන්නෙ නැතුව, ණය මුදල් ලබා ගන්නෙ නැතුව අප විසින්ම උත්පාදනය කරන ලද මුදල්වලින් අපි විශාල ආයෝජනයක් කරලා අපේ ගුවන් කලාපයේ සුරක්ෂිතභාවයත්, ගුවන් තොටුපොළේ සුරක්ෂිතභාවයත් ඒ වගේම ගුවන් තොටුපොළ පිළිබඳව සහ අපට අයිති ගුවන් සීමාව ආරක්ෂිත ගුවන් සේවාවක් ලෙස අපට පෙන්වා දීමට පුළුවන් වූ නිසාත් වැඩි වැඩියෙන් ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන ඒමට එයත් එක් ප්‍රධාන කාරණයක් වුණා.

මේ නිසාම අපේ ගුවන් තොටුපොළේ තදබදයක් ඇති වුණා. මේ තදබදය නැති කිරීමට තමයි අපි අවුරුදු ගණනාවකට පෙර ගුවන් තොටුපොළේ දෙවැනි පර්යන්තය ජපානයේ ජයිකා ආයතනයෙන් ලබා ගනු ලබන සහනදායී ණය මුදලකින් ගොඩ නැඟීමට පටන් ගත්තෙ. ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අවපාතය හා රට බංකොලොත්භාවයට පත් වූ බවට ප්‍රකාශ කිරීම නිසා ජයිකා (ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය) ආයතනය ලබා දුන්න ණය මුදල එකවරම නතර කළා. ඒ නිසා තමයි භාගෙට හැදුණ ගොඩනැඟිල්ලක් ප්‍රදර්ශනය වෙන්නෙ. ඒ පිළිබඳව අපි ජපන් රජයත්, ජයිකා ආයතනයත් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඔවුන් අපිට සහතිකයක් දීලා තිබෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් වූ වහාම ඔවුන් නැවතත් මේ ණය මුදල බලාත්මක කිරීමට කටයුතු කරනවා කියලා.

ගුවන් තොටුපොළේ සංවර්ධන ව්‍යාපෘති කීපයක් පිළිබඳව කතා කළා. ගුවන් පාලක කටයුතු ඩිජිටල්කරණය කරලා තියනවා වගේ දේවල්. පසුගිය වසරේ ක්‍රියාත්මත කළ එවැනි වෙනස්කම් මොනවාද?

පිදුරුතලාගල කන්දේ තියනවා ට්‍රාඩා යන්ත්‍රයක් දැන් අවුරුදු 25ක් පමණ පරණයි. මේ සඳහා නව යන්ත්‍රයක් ලබා දීම සඳහා අපි රුපියල් බිලියන 1.5ක් පමණ මුදලක් වැය කළා. දැන් ඒ යන්ත්‍රය ගෙන්වා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ලබන අවුරුද්දෙ පෙබරවාරි, මාර්තු මාසෙ වෙනකොට එම උපකරණයත් අපට සවි කරන්න පුළුවන්. පසුගිය වර්ෂය තුළම ගුවන් සේවා ක්ෂේත්‍රයේ තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවාව දෝෂාරෝපණයට ලක් වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයත් සින්නක්කර අයිතිය තියන එකම ගුවන් යානාවක්වත් අපිට නැහැ. අපිට තිබුණ ගුවන්යානා 23ම අපි මුදල් දීලා කුලියට ගත්ත ගුවන්යානා. පසුගිය කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සේවාවන් බිඳ වැටීමට කරුණු දෙකක් පාදක වුණා.

පළමුවැනි කාරණය තමයි සමහර වෘත්තීය සමිතිවල වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයන්. වැටුප් වැඩිකර ඉල්ලීම් නිසා අපිට ගුවන්යානා නිසිලෙස නිසි වෙලාවට ගුවන්ගත කිරීමට ලැබුණේ නැහැ. ගුවන් යානයක් ගුවන්ගත කිරීමට පෙර ඉතාම දැඩි තත්ත්ව පරීක්ෂණයකට භාජනය කළ යුතුයි. ඒ වගේම ගුවන්යානා නියමුවන් ඔවුන්ගේ නිවාඩු දිනවලදී ගුවන්යානා පැදවීම නතර කළ නිසාත් ගුවන් ගමනාගමනවල බිඳ වැටීමක් ඇති වුණා. ඒ ප්‍රශ්න යම් තත්ත්වයකට විසඳා ගත්තත් අපි කුලී බදු ක්‍රමයට ලබාගත් මෙකී ගුවන්යානාවල ඇති වූ තාක්ෂණික දෝෂ නිසා මගී ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ගුවන් ගමන් වාර 200ක් පමණ අවලංගු කිරීමට සිදු වුණා.

නමුත්, අද ලෝකයේ කොවිඩ් වසංගතය සමයේ කර්මාන්තශාලා වල ඇතිවූ ප්‍රමාදය නිසා එන්ජින් අලුත්වැඩියා කර ගැනීම මෙන්ම නව ගුවන්යානා සෑදීමේ ක්‍රියාවලිය බොහෝ පසුපසට ගිහින් තිබෙනවා. ඒ නිසා ලෝකයේ මගී අවශ්‍යතාවයට සරිලන ගුවන්යානා ප්‍රමාණයක් නැහැ. විශේෂයෙන්ම අපිට දීර්ඝ ගමනාන්තයන් සඳහා යාමට අවශ්‍ය A330 ගුවන්යානා මිලදී ගැනීමට උත්සාහ දැරුවත් ඒ සඳහා සුදුසු ගුවන්යානා ලබා ගැනීම අපහසු වෙලා තිබෙනවා. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් දැනට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක් පමණ ණය වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශක්තිමත් ආයෝජකයෙකු ලබා ගැනීමට කටයුතු කරගෙන යනවා. ආයෝජකයින් ලබා ගැනීම සඳහා අභිලාෂ කැඳවීම කර තිබෙනවා.

ජනවාරි මාසෙ මුල් සති දෙකෙන් පසු මේ ආයෝජකයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය භාණ්ඩාගාරයට භාරදී තිබෙනවා. භාණ්ඩාගාරය විසින් අපගේ ද සහයෝගය සහිතව එය කරනවා. ඒ වගේම පලාලි ගුවන්තොටුපොළත් අද මෙහෙයුම් ලාභයක් ලබනවා. කලින් සතියකට දින හතරයි. දැන් දින හතම එනවා. අපි තවත් ගුවන්යානා සමාගම්වලට ආරාධනා කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරේ දී තවත් ගුවන්යානා සමාගම් එකක් හෝ දෙකක් පලාලිවලට පැමිණෙයි කියලා. මේ තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය ඇති කිරීමට සහ සංචාරක කර්මාන්තයටත් විශාල රුකුලක් ලැබුණා.

වරාය හා නාවික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග මොනවාද ?

නාවික ක්ෂේත්‍රයේ සුවිශේෂී වූ ප්‍රගතියක් අපිට ලබා ගැනීමට පුළුවන් වුණා. බිලියන 9ක පමණ ලාභයක් වරාය අධිකාරිය උපයා ගත්තා. මීට පෙර වර්ෂවලදී පාඩුවට පැවති ගාල්ල වරායත්, ත්‍රිකුණාමල වරායත් ලාභදායි තත්ත්වයට පත් කිරීමට අපිට පුළුවන් වුණා. විශේෂයෙන්ම වරායේ නැඟෙනහිර පර්යන්තය ඉදි කිරීම් කටයුතු සඳහා රජයෙන් හෝ කිසිම ආයතනයකින් ණය මුදලක් හෝ ප්‍රදානයක් ලබා ගන්නෙ නැතිව එහි කටයුතු සඳහා අවශ්‍ය මුදල් සපයා ගනිමින් දැනටමත් ක්‍රේන් යන්ත්‍ර සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 170 ක් පමණ ආයෝජනය කිරීමට අපි කටයුතු කළා.

ඊට අමතරව වරාය අධිකාරිය මඟින් පාලනය කරනු ලබන ජයා පර්යන්තය වඩාත් පුළුල් කිරීම සඳහා තවත් බිලියන 3ක පමණ අධික මුදලක් වැය කරමින් ඒ කටයුතු දැන් නිම වෙමින් පවතිනවා. පෞද්ගලික අංශයට ලබාදුන් බටහිර පර්යන්තයේ කටයුතු පොරොන්දු වූ දින වකවානු අනුව දැනට කෙරීගෙන යනවා. අවුරුදු ගණනාවකට පසු මගී යාත්‍රා විශාල ප්‍රමාණයක් මේ වසර තුළදී පැමිණියා. එන වසරේ ජනවාරි, පෙබරවාරි මාසවලදී විශාල මගී යාත්‍රා 32ක් පැමිණෙන බව දැනටමත් අපිට දන්වලා තිබෙනවා. කොළඹ වරාය වාර්ෂිකව විශාල ආදායමක් රටට උත්පාදනය කර දෙනවා. රටේ සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමඟ නැව් මඟින් පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ද ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කොළඹ වරායේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ මැදභාගය වනවිට අවසන් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලසුම් කර තිබෙනවා. කොළඹ වරායේ ඉදිවන විශාලතම පර්යන්තය නැඟෙනහිර පර්යන්තයයි. මෙම ඉදිකිරීම් මේ වසරේ මැද වනවිට නිමකොට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉලක්ක කර තිබෙනවා. මෙම පර්යන්තයේ ඉදිවන ජැටිය මීටර් 1400ක් වෙනවා. ඉදිකිරීම් නිමවීමෙන් පසු මෙගා නැව් 03ක් එකවර නැංගුරම් දැමීමට හැකියාව ලැබෙනවා. නෞකාවලින් බහාලුම් ගොඩබෑම සඳහා ගැන්ට්‍රි දොඹකර 12ක් සහ බහලුම් තැන්පත් කිරීම සඳහා ට්‍රාන්සර් දොඹකර 40ක් නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කළා. බහාලුම් අංගණයේ වපසරි හෙක්ටයාර් 75ක් වෙනවා. වසරකට බහාලුම් මිලියන 03ක මෙහෙයුම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති නැඟෙනහිර පර්යන්තය අර්ධ ස්වයංක්‍රිය ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 585ක් වැය වන අතර සියලු මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් වැය කිරීමට නියමිතව තිබෙනවා.

කේ. කේ. එස්. මගී යාත්‍රා සේවය තාවකාලිකව නැවතී තිබෙනවාද?

කන්කසන්තුරේ හා නාගපට්ටම් අතර මගී යාත්‍රා සේවයක් අපි ආරම්භ කළා. මේ සඳහා යාත්‍රා යෙදුවේ ඉන්දියාවේ නැව් සංස්ථාවයි. මුහුදේ රළු බව නිසා වාරකන් කාලයේදී එවැනි යාත්‍රාවක් යාත්‍රා කිරීමට දැන් නොහැකි වී තිබෙනවා. ඒ සඳහා මීට වඩා විශාල යාත්‍රාවක් යෙදවිය යුතුයි. මේ වනවිට ඉන්දියාවෙන් එවැනි යාත්‍රාවන් මෙම ගමනාන්තයන් දෙක අතර ක්‍රියාත්මක කිරීමට සූදානම්. ව්‍යාපාරිකයන්ගෙන් අභිලාෂ කැඳවීමක් කිරීමට කටයුතු යොදා තිබෙනවා. එවිට ඕනෑම යාත්‍රා හිමියෙකුට මේ මගී සේවාව තරගකාරී පදනමක් මත කරගෙන යාමට පුළුවන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *