ලංගම 66 වැනි සංවත්සරයට විශේෂ ආගමික වැඩසටහනක් රුවන්මැලි සෑය අබියසදී

ලංකා ගමනාගමන මණ්ඩලයේ හැට හය වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රුවන්මැලි සෑය අබියසදී පැවැත්විණි.

රටට, ජනතාවට සහ ආයතනයට ආශීර්වාද පිණිස රුවන්වැලි සෑය වෙනුවෙන් කප්රුක් පූජාවක් සිදු කළ අතර, දිවයිනේ සියලුම ලංගම ඩිපෝ මඟින් අට පිරිකර 750කට අධික ප්‍රමාණයක් රුවන්මැලි සෑයට පූජා කිරීම සහ විශේෂ ආශීර්වාද පූජාවක් ද මෙහිදී සිදු කෙරිණි. රුවන්මැලි සෑය චෛත්‍යරාමාධිපති, ශාස්ත්‍රපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, වත්තේවැවේ සුමන නායක ස්වාමීන් වහන්සේ විසින් ආගමික වතාවත් මෙහෙයවූහ.

රුවන්මැලි සෑය චෛත්‍යරාමාධිපති, ශාස්ත්‍රපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්මැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුවට ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ධාවනයට එක් කරන ලද නව බස් රථය ගමන් ආරම්භ කිරීම ද මීට සමගාමීව සිදු විය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, එස්. එම්. චන්ද්‍රසේන, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහත්වරු ද, ආයතනයේ සේවය කළ හිටපු සභාපතිවරුන් ඇතුළු නිලධාරීහු ද, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීහු ද, කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ද මේ වැඩසටහනට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *