රට සංවර්ධනය කරා ගෙන යෑමේදී සරසවි සිසුන්ට තීරණාත්මක වැඩ කොටසක් ඉටු කළ හැකියි -ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගනිමින් රට සංවර්ධනය කරා ගෙන යෑමේ වැඩපිළිවෙළේදී විශ්වවිද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සමඟ පසුගියදා යාපනය ජෙට්වින්ග් හෝටලයේ පැවති හමුව අමතමිනි. රටේ සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව වෙත පැවරී ඇති ප්‍රමුඛ කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීමේ අරමුණින් මේ හමුව පැවැත්විණි.

කෘෂිකර්මාන්ත, සංචාරක, ව්‍යාපාරික, තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ දායකත්වය ගැනීමට අපේක්ෂා කරන බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මේ පරිවර්තනීය ප්‍රයත්නයන් සඳහා ක්‍රියාකාරිව එක් වන ලෙසද විශ්වවිද්‍යාල සිසුන්ට ඇරියුම් කළේය. මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් දිය හැකි අන්දමින් උතුරු පළාත දැවැන්ත සංවර්ධනයකට ලක් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සිසුන් දැනුවත් කළ ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට එක් වන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සිසුන් නැගු ප්‍රශ්නවලටද ජනාධිපතිවරයා පිළිතුරු දුන් අතර, ඒ ප්‍රශ්න කිහිපයක් සහ ඊට ජනාධිපතිවරයා දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය: රටක ආදායමේ ප්‍රධාන සාධකය වන්නේ බදු ආදායමයි. ව්‍යවසායකත්ව අදහස් සහ ව්‍යසායකත්වය පිළිබඳ අප විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලදී හදාරනවා. එහෙත් ජනාධිපතිතුමනි, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා, ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් සඳහා සිසුන්ගේ අදහස් ඇතුළත් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරකම් වැඩිදියුණු කරන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර: ඔබට ඔබේ පීඨයේ එවැනි කවයක් ස්ථාපිත කරගෙන අපගේ ආර්ථික කටයුතු පිළිබඳ කණ්ඩායම සමඟ ඍජුවම සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය: විශ්වවිද්‍යාල සිසුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යෑමේදී විශාල ගැටලුකාරි තත්ත්වයකට මුහුණදී සිටිනවා. එක් අවස්ථාවක අපගේ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යයන කටයුතුවල නිරතවීමට සිදුවීම නිසා සියදිවි නසාගැනීමේ සිදුවීමකුත් වාර්තා වුණා. එබැවින් මූලික මට්ටමේ සිටම සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර: ඉදිරි වසර දෙක තුළ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පාඨමාලාවක් හඳුන්වා දීමට අප සැලසුම් කර තිබෙන නිසා විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම අනිවාර්ය වී තිබෙනවා.ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා මෙන්ම අවශ්‍ය නම් බ්‍රිතාන්‍ය කවුන්සිලය වැනි ආයතන මඟින් ඒ සඳහා පහසුකම් සලසා දීමට අප අපේක්ෂා කරනවා.

ප්‍රශ්නය: රාජ්‍ය විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයකු උපාධිය සම්පූර්ණ කිරීමට අධ්‍යයන සුදුසුකම් ලබා ගැනීමට වැය කරන කාලය, පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් සම්පූර්ණ කිරීමට වැය කරන කාලයට වඩා ඉතා වැඩියි. එබැවින් අප රැකියා වෙළෙඳපොළට යන විට අපට වඩා අත්දැකීම් ඔවුන්ට තිබෙනවා. මේ සඳහා ඔබේ යෝජනාව කුමක්ද?

පිළිතුර: මම අධ්‍යාපනය ලැබුවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක. මම අවුරුදු 18දි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කළා, වයස වුරුදු 21දී උපාධිධාරියකු ලෙස විශ්වවිද්‍යාලයෙන් පිට වුණා. වයස අවුරුදු 23දී නීතිඥයෙක් වුණා. මෙය විශ්වවිද්‍යාල තුළ පවතින අභ්‍යන්තර ප්‍රශ්නයක්. අද ඇතැම් පිරිස් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවුල් කරනවා. එහෙත් අප විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන කොට, උපකුලපතිතුමා සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබුණා පළමු වාරයේ අවසාන සති දෙක පමණක් වර්ජන සඳහා වෙන් කරනවා කියලා. ඉතින් එතුමාත් ඊට එකඟ වුණා. අපි එය කළා. ඒ නිසා මම හිතන්නේ අප එක් ක්‍රමයකට අනුව වැඩ කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් ඇතුළත් වූ පසු නියමිත අවුරුදු තුන හෝ හතරකින් අධ්‍යාපන කටයුතු අවසන් කර විශ්වවිද්‍යාලයෙන් පිට විය යුතු බවට ඉදිරියේදී නීතියක් ගෙන ඒමටත් අප අපේක්ෂා කරනවා. වෛද්‍ය විද්‍යාලවලට එසේ අවශ්‍ය වන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තීක්ෂණ අබේවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සත්කුණරාජා, යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිනි වසන්ති අරසරත්නම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *